කාම්‌බෝජයෙන් මතුවූ “අතිගරු-ප්‍රභාකරන්”


(තිලිණි ද සිල්වා)  

ප්‍රභාකරන්ගේ ජීවණ චරිතය ඇතුළත් කරමින් නිෂ්පාදනය කර තිබූ ‘‘මෙනාගු’’ දෙමළ චිත්‍රපටය තහනම් කිරීමට කාම්බෝජයේ බලධාරීහු ඉකුත්දා පියවර ගත්හ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ජීවිතයේ මුල් අවදිය හා ජීවිතයේ විවිධ අවස්ථා නිරූපණය කරමින් නිර්මාණය කළ ‘‘මෙනාගු” චිත්‍රපටය ඉකුත් ජුනි මාසයේ සිට ඉන්දියාව ඇතුළු රටවල්වල තිරගත කිරීමට නියමිතව තිබූ අතර මෙම චිත්‍රපටය කොටි හිතවාදී දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන කිට්ටුගේ අධ්‍යක්ෂණයකි.


‘මෙනාගු’ යන්නෙහි සිංහල තේරුම ‘අතිගරු’ යන්නයි. මෙය දේශපාලන ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර දෙමළ ඊළාම් චිත්‍රපට සමාජය විසින් එළිදැක්වූවකි.   


කොටි ත්‍රස්තවාදීන්ගේ අසත්‍ය ජීවිත වෘත්තාන්තයක් වටා පැයකුත් විනාඩි 40ක් පුරා දිවෙන මේ චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබියදී එරට රජය විසින් තහනම් කරනු ලැබුවේ ශ්‍රී ලංකා රජය කාම්බෝජ විදේශ අමාත්‍යාංශය හරහා එරට රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් යැයි කාම්බෝජයේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.   


හිටපු කොටි නායකයා උත්කර්ශයට නංවන කතා තේමාවක් අඩංගු ‘‘මෙනාගු” දෙමළ චිත්‍රපටය සියලුම ආකාරයේ රූපවාහිනී හා කේබල් ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙස කාම්බෝජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශය, නිත්‍ය රාජ්‍ය ලේකම්වරයා හරහා, රූපවාහිනී නාළිකා ප්‍රධානීන්ට ලිපියකින් දැනුම් දී ඇතැයි එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.