ක්‍රිප්ටෝ රජු වරදකරු වෙයි


බීබීසී ඇසුරිනි

ඇමෙරිකන් බිලියනපතියෙකු ද වූ ව්‍යාපාරික සැම් බෑන්ක්මන් - ෆ්‍රයිඩ්, ඔහුට එල්ල වී තිබුණු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු විය. ලොව ‘ක්‍රිප්ටෝ රජු’ යන නමින් හැඳින්වූයේ ද සැම් බෑන්ක්මන්-ෆ්‍රයිඩ්ය.

සෑම් බෑන්ක්මන් ට එල්ල වූ චෝදනා සම්බන්ධ නඩුව පසුගිය මාසය පුරාවට නිව්යෝක් අධිකරණයක් හමුවේ විභාගයට ගැනුණි. එය ඇමෙරිකානුවන් අතරේ පමණක් නොව, ලොව බොහෝ දෙනකුගේ අවධානයට ලක්වුණු නඩු විභාගයක් ලෙස ද සැලකිණි. පසුගිය 3 වැනිදා රැස්වුණු ජූරි සභාව, 31 හැවිරිදි සෑම් බෑන්ක්මන් සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම සිදු කළේ පැය පහක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.


මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සෑම් බෑන්ක්මන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය 2022 වසරේදීය. 


ඒ සමඟම ඔහුගේ ඩොලර් බිලියන තිස් දෙකක “එෆ්.ටී.එක්ස්” සමාගම ද බංකොළොත් විය. සෑම් බෑන්ක්මන්, “එෆ්.ටී.එක්ස්” සමාගම ආරම්භ කළේ 2019 වසරේදීය. “එෆ්.ටී.එක්ස්” සමාගම නියාමනයට ලක් නොවුණු බැංකුවක් ලෙස ක්‍රියාත්මක විය. 


“එෆ්.ටී.එක්ස්” සමාගම ක්‍රිප්ටෝ මුදල් පමණක් නොව, බිට්කොයින් මුදල් ද ඔවුන්ගේ අරමුදල් යටතේ සුරක්ෂිතව තබා ගැනීම කළේය. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සිදුවූයේ එම කටයුතුවලට මුවාවෙමින් යැයි විමර්ශනවලදී අනාවරණය විය.


මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ බැවින් සෑම් බෑන්ක්මන්ට, දශක ගණනක සිරදඬුවමක් හිමිවෙනු ඇතැයි පැවැසෙයි. බෑන්ක්මන්ගේ දඬුවම ලබන මාර්තු 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.


ක්‍රිප්ටෝ-කරන්සි හෙවත් ක්‍රිප්ටෝ මුදල් යනු ඩිජිටල් කළ, එසේත් නැතිනම් සම්පූර්ණයෙන්ම පරිගණක ගත කළ මුදල් වර්ගයකි. අප එදිනෙදා භාවිතයට ගන්නා මුදල් හා සමාන වුවත්, මේවා ක්‍රිප්ටෝ මුදල් භෞතිකව භාවිත කළ නොහැකිය. මෙම මුදල් භාවිත කළ හැක්කේ අන්තර්ජාලය හරහා පමණි.