ක්ෂේශ්ත්‍ර නිලධාරි හිඟය නිසා අලි-මිනිස් ගැටුම් පාලනය අසීරුයි


ඉන්දික හේවාවිතාරණ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි සිදුකරන නිලධාරීන්ගේ හිඟය නිසා අලි මිනිස් ගැටුම පාලනයට අදාළ කටයුතු හා වනජීවී සංරක්ෂණ කලාපවල ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජාතික උද්‍යාන අඩවි ආරක්ෂක කාර්යාල ඇතුළු ස්ථානවල ස්ථානභාර නිලධාරීන් ලෙස කටයුතු කරන වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරි තනතුරු 336 ක් පවතින බවත්, මේ වන විට සේවයේ යෙදී සිටින්නේ නිලධාරීන් 188 ක් පමණක් බවත්, මේ අනුව එම සේවාව තුළ පුරප්පාඩු 146 ක් ඇතිවී තිබෙන බවත් එම සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා සඳහන් කළේය.


බීට්ටු කාර්යාල භාර නිලධාරීන් ලෙස කටයුතු කරන  වන සත්ව අඩවි සහකාර නිලධාරි තනතුරු 382ක් පවතින බවත්, මේ වන විට සේවයේ යෙදී සිටින්නේ නිලධාරීන් 262 ක ප්‍රමාණයක් පමණක් බවත්, මේ අනුව එම සේවාවේ පුරප්පාඩු 120 ක් ඇති වී තිබෙන බවත් හෙතෙම පැවසීය.


වනසත්ව නියාමක තනතුරු 873 ක් පවතින බවත්, මේ වන විට සේවය කරමින් සිටින්නේ 432ක් බවත්, මේ අනුව එම සේවාවේ පුරප්පාඩු 441 ක් පවතින බවත්, පුරප්පාඩු ප්‍රමාණය ප්‍රතිශයක් ලෙස සැලකූ විටසියයට 51ක ප්‍රමාණයක් බවත් ඒ මහතා සඳහන් කළේය.


වනසත්ව නියාමක සේවාවට අවසන් වරට බඳවා ගැනීම් සිදුකර තිබෙන්නේ 2019 වසරේ දී බවත්, වන සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා වන ජීවී කලාප කළමනාකරණය කර ගැනීම හා අලි මිනිස් ගැටුම් අවම කර ගැනීමේ කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දෙන්නේ වනසත්ව නියාමකයන්  බවත් හෙතෙම පවසා සිටියේය.
පසුගිය වසරේ දී අලින් 400කට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබේ.