ක්ෂුද්‍ර මුල්‍ය ආයතන ගිනි පොලීකාරයන් වෙලා


 ඉන්දික හේවාවිතාරණ

බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබා දෙන ණයවලට අදාළ පොලිය සියයට එකොළහක් (11%)ක හෝ ඊට වඩා අඩු අගයක් ගෙන තිබියදීත් ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට අදාළව සියයට තිස් පහක් හෝ ඊට වඩා වැඩි පොලී මුදලක් අයකර ගනිමින් තිබෙන බව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයින්ගේ සංගමය සඳහන් කරයි. 

ග්‍රාමීය වශයෙන් ජීවත් වන ලක්ෂ තිහකට ආසන්න ප්‍රමාණයක් මෙම ණය උගුලට හසුවී තිබෙන බවත් මේ නිසා කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් පිරිසට  ඇතිවී තිබෙන ගැටලු විසඳුම සඳහා රජය මැදිහත්විය යුතු බවද එම සංගමයේ කැඳවුම්කරු නිරෝෂා ගුරුගේ මහත්මිය සඳහන් කළාය. 
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගන්නා ණයවලට අදාල වාරිකය සතිපතා එකතු කරමින් තිබෙන බවත් මේ අනුව එක් සතියක ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වුවහොත් ඊට අදාලව දඩ පොලියක් අයකර ගන්නා බවත් ඊලඟ සතියේ වාරිකයට දඩ මුදලත් එකතු කරන බවද පවසා සිටියාය.


මේ අනුව රුපියල් පන්දහසක (5,000) ණයක් ලබා ගන්නා ප්‍රද්ගලයෙකුට රුපියල් විසිපන්දහසක් හෝ ඊට වඩා වැඩි මුදලක් ගෙවීමට පවා සිදුවන අවස්ථා තිබෙන බවත් ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට අදාල පොලිය පනතක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන බවද සඳහන් කළාය.


මේ නිසා අදාළ පනත සංශෝධනය කර ජනතාවට සහන ලබා දිය යුතුව තිබෙන බවත් බැංකු පොලී මුදල උපරිම ලෙස ඉහළ ගිය අවස්ථාවල පවා 22 % පොලියට බැංකු විසින් නිවාස ණය පවා ලබා දී තිබෙන බවත් මෙම පිරිස් ණය ලබා ගෙන තිබෙන්නේ ස්වයං රැකියාවක් සිදුකර ගැනීම් සඳහා බවද පවසා සිටියාය.
බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට ගොස් ණය ලබා ගැනීමට  සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමට නොහැකි ලංකාවේ දුප්පත්ම ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන ණය උගුලක හිරවී සිටින බවත්, මේ නිසා ග්‍රාමීය ප්‍රජාව නගාසිටුවීම සඳහා රජය මැදිහත් වී සුළු පොලියකට ණය ලබා දෙන වැඩපිළිවෙලක් සකස් විය යුතු බවද  සඳහන් කළාය.