කහ උණ එන්නත නැතිව 5000 ක් පෝලිමේ


සෞඛ්‍ය අමාත්‍යාංශය

සුජිත් හේවාජුලිගේ

අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින 5000 කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව ලොකු  ගැටලු‍වකට මුහුණදී  සිටින බව වාර්තා වේ.

කහ උණ සඳහා එන්නත ලබාගැනීමේ පෝලිම මේ හේතුවෙන් දිනෙන් දින දිගුවෙමින්  පවතී.


අප්‍රිකානු රටවලට යන අය සෞඛ්‍ය හේතු මත මෙම එන්නත  අනිවාර්යෙන්ම ලබාගත යුතුය.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම එන්නත් 7500ක් ඇණවුම් කර ඇතත් සැපයුම්කරුවන් තවමත් ඉදිරිපත්ව නැති බවයි.


ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම එන්නත් තුන්දාහක් පමණ ළඟදීම පැමිණීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.


මේ අතර ඩොලර් ගේන්න යෑමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් සහතික තියාගෙන කහ උණ එන්නත නොමැතිව බලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නත ගෙන්වීමේ වැඩපිළිවෙළක් නැති බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය.


තත්වයෙන් අසමත් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පිටින් ඇතැයිද ඔහු සඳහන් කළේය.