කම්හල් දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලා


 

සුජිත් හේවාජුලිගේ

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක්  පසුගිය වසර හතරක කාලයේදී (2019 ආරම්භයේ සිට 2022 අවසානය දක්වා) වැසී ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

පසුගිය 2019 වසර ආරම්භ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා දහතුන් ලක්ෂ තුන්සීයක් පැවැති නමුත් 2022 අවසන් වනවිට එම සංඛ්‍යාව දස ලක්ෂ තිස් හත්දාස් එකසියක් දක්වා පහළ වැටී තිබූ බව එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.


මින් කර්මාන්තශාලා දෙලක්ෂ හාරදහස් එකසීයක් ස්ථිර ලෙසද  කර්මාන්තශාලා 59,100ක්  තාවකාලික ලෙසද වසා දමා ඇති බව ඔහු කීවේය. මෙසේ වසා දමා ඇති කර්මාන්ත අතර 254,700ක් ක්ෂුද්‍ර  කාණ්ඩයට අයත් ඒවා වෙයි. මීට අමතරව කුඩා කර්මාන්ත 7,300ක්ද මධ්‍යම කර්මාන්ත 1,100ක්ද වැසී ගොස් ඇතැයි මහාචාර්යවරයා කීවේය.
පසුගිය 2019 ආරම්භ වනවිට ක්ෂුද්‍ර  කර්මාන්ත 1,203,600ක් රටේ පැවැති නමුත් 2012 අවසන් වන විට ඉන් ඉතිරිව ඇත්තේ කර්මාන්තශාලා 948,900ක් පමණක් බවද වසන්ත අතුකෝරල මහතා පැවසීය.


එම වසර හතර තුළ වැසී ඇති ක්ෂුද්‍ර කර්මාන්ත සංඛ්‍යාව 254,700ක් බව ඔහු සඳහන් කළේය. කොව්ඩ් පැතිරීම, ආර්ථික අර්බුදය සහ  ස්වාභාවික හේතු කර්මාන්තශාලා වැසී යෑමට ප්‍රධාන වශයෙන් හේතු සාධකවී ඇති බව පෙනී ගොස් ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.