කන්දකාඩු කඳවුරේ ලොක්කෝ ඉවතට


ගැටුම ගැන ඇමතිට වාර්තාවක්

සුජිත් හේවාජුලිගේ

රැඳවියන් අතර ගැටුමක් ඇතිවූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය ඉදිරියේදී වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

එම ගැටුම සම්බන්ධයෙන් තමා වාර්තාවක් ඉල්ලා ඇතැයිද ඔහු සඳහන් කළේය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඉදිරියේදී අලු‍ත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා මධ්‍යස්ථානයට දෙවැනි වතාවට පැමිණෙන රැඳවියන්  වෙනත් ස්ථානයකට යැවීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
එහි බොහෝ ගැටුම්වලට මුල පුරා ඇත්තේ දෙවැනි වතාවට පැමිණෙන රැඳවියන්  බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර පෙරේදා (12දා) පස්වරුවේ ඇතිවූ ගැටුමකින් රැඳවියෝ විසිපස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති. එම ගැටුම අතරේදී  රුඳවියන්  පනස් දෙනකු පලා ගිය නමුත්  ඉන් විසි පස් දෙනෙක් පොලීසිය විසින් පසුව  අත්අඩංගුවට ගනු ලැබූහ.


මෙම කඳවුරේ රැඳවියන් පලා යෑමේ සිද්ධීන්  මීට පෙර අවස්ථා කිහිපයකදීද  වාර්තා විය.