උපුල් වික්‍රමසිංහ
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද දමිළ ජන සංහාරය අනුස්මරණය කරන සතියක් නම් කිරීමේ පනත (Tamil Genocide Education Week Act) එරටේ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළේ තනි පුද්ගලයකු නොවන බව ද එය සාමූහික ප්‍රයත්නයක් බව ද ශ්‍රී ලංකා කැනඩා ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන්හි ශ්‍රී ලාංකික කැනේඩියානුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය නෙවිල් හේවගේ එය ඔවුන් ලද ජයග්‍රහණයක් ලෙස මාධ්‍ය හමුවේ හුවාදැක්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම සංවිධාන ද්විත්වය මේ බව පවසයි.
එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ දමිළ ජන සංහාරය අනුස්මරණය කරන සතියක් නම් කිරීමේ පනත අධිකරණය හමුවේ පළමුවෙන් ම අභියෝගයට ලක්කරනු ලැබුවේ ශ්‍රී ලංකා කැනඩා ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන්හි ශ්‍රී ලාංකික කැනේඩියානුවන්ගේ සංගමය විසින් බව ද එහි දෙවැනි නඩුව පවරනු ලැබුවේ නෙවිල් හේවගේ විසින් වුවත් ඒ සඳහා ඔහුට ඉහත සංවිධාන දෙකෙන් ද මූල්‍යාධාර ලබා දුන් බව ය.
අදාළ නඩු දෙකම එකට විභාග කර උසාවිය තීන්දුව දුන් බවත් එහිදී යුද්ධය සමයේ ලංකාවේ දෙමළ ජන සංහාරයක් වූ බව හෝ නොවූ බව නිගමනය කරමින් අධිකරණය තීන්දුවක් නොදුන් බවත් කියන එම නිවේදනය එම පනතෙන් දෙමළ ජනතාවට සිය මියගිය නෑ හිත මිතුරන් සැමරීම සඳහා පමණක් ප්‍රතිපාදන සලසා ඇතැයි ද අවධාරණය කරයි.
තවද එම පනතෙහි කිසිදු අධ්‍යාපනික වැදගත්කමක් නැතැයි අධිකරණ තීන්දුවෙන් තහවුරු කර ඇති බව ද එහි දැක්වේ.
මෙම නඩු කටයුතු වෙනුවෙන් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් තමන්ට හැකි අයුරින් මූල්‍ය දායකත්වය දැක්වූ බව ද ඇතැමුන් බත් පාර්සල් සහ කොත්තු පාර්සල් අලෙවි කිරීමෙන් සංගීත සංදර්ශන පවත්වා මුදල් රැස් කිරීමෙන් මුදල් ලබා දුන් බව ද එහි වැඩිදුරටත් සඳහන් ය.

