ඔන්ලයින් පනතින් මානව හිමිකම් වලට බලපෑම්


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතින් භාෂණයේ නිදහස ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් ඍණාත්මක බලපෑමක් සිදු වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි. ඔවුන්ගේ X ගිණුමේ (මීට පෙර ට්විටර්) සටහනක් තබමින් එ.ජා. මානව හිමිකම් කාර්යාලය මෙම අදහස පළ කර තිබේ.

මේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ මේ වන විට සිවිල් සංවිධාන සහ ඔන්ලයින් කර්මාන්තයේ යෙදෙන කණ්ඩායම් විසින් මතුකර ඇති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි. 


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්බන්ධයෙන් විපක්ෂය, සිවිල් සංවිධාන සහ ඔන්ලයින් කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ විරෝධය මතු වුවද පසුගිය ජනවාරි 24 වැනිදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පනතට ඉදිරිපත් කළ සංශෝධන පනතට අඩංගු කර නැතැයි විපක්ෂය කියා සිටියද පෙබරවාරි පළමුදා කතානායකවරා සිය අස්සන යොදා පනත බලාත්මක කළේය.