ඔන්මැක්ස් ඩීටී අධ්‍යක්ෂකවරුන් පස් දෙනා රිමාන්ඩ්


නිමන්ති රණසිංහ

නීති විරෝධී අන්දමින් පිරමිඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා සිදුකළ බව කියන වංචාව රුපියල් කෝටි 3000කට අධික බව නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

මෙම වංචාවට අදාළ මුදල්වලින් රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් මුදල් ප්‍රමාණයක් අධිකරණ නියෝග ලබාගෙන අත්හිටුවා ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල් පෙරේරා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, විමර්ශන මෙතෙක් අවසන්ව නොමැතිවීම හේතුවෙන් ඔවුන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් යන අයවලුන්ය.


ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.


බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.