එතෙර විදේශ දූත මණ්ඩලවල නිල නිවාස සඳහා තැබූ කෝටි පහ හමාරක ’කී මනී ’ ආපහු අරන් නෑ


- විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්තාවක් කියයි

උපුල් වික්‍රමසිංහ

විදේශ දූත මණ්ඩල සේවය සඳහා විදේශගත වූ කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලද නිල නිවාස වෙනුවෙන් තබන ලද ආරක්ෂිත තැන්පතුවලින් රුපියල් මිලියන 55.6 (රුපියල් 55,619,842) ක් වූ තැන්පතු 242 ක්ම භාවිත නොකරන ලද නිවාසවලට අදාළ වී තිබූ බවත්, එම මුදල් මේ දක්වා අය කර ගැනීමට කටයුතු කර නැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2022 වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.

එම මුදලින් රුපියල් මිලියන 12.3ක් (රුපියල් 12,296,875) අවුරුදු 20 ඉක්මවා ඇති බවත් රුපියල් මිලියන 39.4 ක් (රුපියල් 39,482,801) වර්ෂ 10 ත් 20 ත් අතර කාලයක්ද ඉතිරි රුපියල් 3,840,166 ක මුදල වර්ෂ 9 ක් ඉක්මවා තිබූ බවත් එම වාර්තාව කියයි.


එම තැන්පතු මුදල් නැවත අය කරගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ දූත මණ්ඩල පාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2009 සැප්තැම්බර් 01 දාතමින් නිකුත් කර ඇති අංක 250 දරන අභ්‍යන්තර චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබුණද ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් මේ මුදල් ආපසු ලබා ගැනීමට පියවර ගෙන නැතැයි එම වාර්තාවේ දැක්වේ.