එක්කෝටි විසි ලක්ෂයකගේ පසුම්බි හිස්වෙලා


වැඩිම අහේනිය පුත්තලමේ

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

ශ්‍රී ලංකාවේ ජනගහණය වන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පවසයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනකුගෙන් 6 දෙනකුම ආර්ථික අවදානම් කලාපයේ පසුවන බවද එම කාරක සභාව සඳහන් කරයි. ජනතාව ආර්ථික අවදානම් කලාපයට ඇතුළත්වීම ප්‍රතිශතයක් ලෙස සියයට 55.7 ක් බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.


ග්‍රාමීය ප්‍රදේශවල මෙය සියයට 82 ක් තරම් ඉහළ තත්වයක් බව පවසන එම කමිටුව පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය බවද සඳහන් කරයි. පුත්තලමේ අවදානමට ලක් වූවන්ගේ ප්‍රතිශතය සියයට  71.8 කි.


ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.


ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය වර්ධනය වී ඇත්තේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් 19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව සමගම 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඍණ 7.8 දක්වා ගමන් කිරීම හේතුවෙන් බව එම වාර්තාවේ දැක්වෙන්නේ යැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.