උතුරු - නැගෙනහිර විහාරස්ථානවලින් හමුදාව ඉවත් නොකරන්න


ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

උතුරු - නැගෙනහිර දෙපළාතේ බෞද්ධ පූජනීය ස්ථානවල ආරක්ෂාවට යොදා සිටින හමුදාව සහ විහාරාරාම ප්‍රතිසංස්කරණයට යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එම කටයුතුවලින් ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහනායක මාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරනු ලැබ ඇත. 

මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන, අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක දොඩම්පහල ශ්‍රී චන්දසිරි සහ රාමඤ්ඤ නිකායේ මහනායක මකුලෑවේ ශ්‍රී විමල යන මාහිමිවරුන් මෙම ලිපියට අත්සන් තබා තිබේ.  


උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂිතව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන් තත් අවශ්‍යතාවන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයෙහි යෙදවීම යෝග්‍ය බවත් එසේ ම උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යාම සුදුසු බවත් කරුණාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටුම්හ යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබේ.