ඉල්ලා අස්කරගත් අල්ලස් නඩු 93 කින් 63 ක් නැවත පවරලා


- කොමිසමෙන් පැහැදිලි කිරීමක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා ඉල්ලා අස්කර ගැනීමට සිදුවූ නඩු 93 කින් 63 ක්ම නැවත පවරා ඇති බව එම කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සුනේත්‍රා ජයසිංහ සඳහන් කරයි.

එසේම තවත් නඩු 24 ක් නැවත පැවරීම සඳහා කටයුතු කරගෙන යන බව ද, නැවත නඩු නොපරවන්නේ සිද්ධීන් 3 ක් සඳහා පමණක් වන බවද අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සඳහන් කරයි. 


පසුගිය සැප්තැම්බර් 24 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ වූ ‘අල්ලස් නඩුවලින් භාගයක්ම අයින් කරගෙන’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අප වෙත කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය වසරේ පැවරූ නඩු ප්‍රමාණය 89 ක් බව සත්‍ය වුවත් ඉල්ලා අස්කරගත් නඩු 45 එක් වර්ෂයක දී පැවරූ නඩු නොවන බවයි. 


අදාළ ප්‍රවෘත්තියේ 2021 දෙසැම්බර් 31 දා වනවිට ගොනු 1508 ක් නීති අංශයේ පැවතුණ බවත්, ඉන් ගොනු 489 ක් වසර 5 කට වඩා කලක් ගතවූ ඒවා ලෙස දක්වා තිබුණද, මෙම ගොනුවල විමර්ශන කටයුතු සිදුවන ආකාරය අනුව ගොනුවක් ප්‍රමාද වීම වර්ෂ ගණන අනුව කිව නොහැකි බවත් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අප වෙත එවූ ලිපියේ සඳහන් වෙයි. පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා අවසන් නොකළ ලිපිගොනු 926 ක් ඇති බවත්, ඒ අතර සරල හා කෙටි කාලයකින් නීති වාර්තා සැපියිය හැකි ඒවා මෙන්ම ඉතා සංකීර්ණ හා විශාල ලේඛන ප්‍රමාණයක් පරිශීලනය කළ යුතු ඒවාද වන බවත්, එවැනි ගොනු සම්බන්ධයෙන් නිශ්චිත කාල විශ්ලේෂණයක් ඉදිරිපත් කළ නොහැකි බවත් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සඳහන් කරයි.