ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?


සුජිත් හේවාජුලිගේ


ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද ඉන් බරපතළ අවදානම් සහගත තත්වයක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ඉන්ධන ගෙන්වීමේ දී ශ්‍රී ලංකාව ඉරානය සමග සෘජු සබඳතා  නොපැවැත්වුව ද ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බව ද ඔහු සඳහන් කළේය.
ඉරානය සිය තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම කරන්නේ චීනයටය. මීට අමතරව ඉරානය ඉන්දියාවට සහ ජපානයට ද ඉන්ධන අපනයනය කරන බව පවසන මහාචාර්යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉන්ධන සැලකිය යුතු ලෙස මිලදී ගන්නා බවද සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාව ඉරානයට ඩොලර් මිලියන 80ක පමණ භාණ්ඩ  අපනයනය කරන අතර, ඉරානයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක භාණ්ඩ ආනයනය කරයි. ඉරානය ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන රටවල් අතර සිටින්නේ 61 වැනි ස්ථානයේය.