ඉන්දු - ලංකා ගොඩබිම් මාර්ගය ගැන කතා කරන්න සාගල ඉන්දියාවට


අංජුල මහික වීරරත්න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම 27 සහ 28 දෙදින ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග එළැඹුණු එකඟතා අනුව මෙම මාර්ගය ඉදිකිරීමේ සාකච්ඡා පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා මුහුද ඔස්සේ මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට අමතරව දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට සමගාමීව තලෙයිමන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා ඍජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීම ද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර, එහි පළමු මාර්ගය තලෙයිමන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදි කෙරෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ කළ සාකච්ඡාවල දිගුවක් ලෙස සාගල රත්නායක මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය ප්‍රධානීන් හමුවීමට නියමිතව පවතී.


අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇත. ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම  සහ ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා දුර කිලෝමීටර් 23කි.