ඉන්දියාවේ සිට නළ එළන්න මුල් පියවර තබයි


අංජුල මහික වීරරත්න

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉන්දියා සාගරය ඔස්සේ  එළීමට යෝජිත ඉන්ධන නළයට අදාළ සඛ්‍යතා අධ්‍යයනය ලබන මාසයේදී  ආරම්භ කරන බව ඉන්දියා තෙල් සමාගම මෙරටට දැනුම් දී තිබේ.

ඉන්දියා තෙල් සමාගම මෙලෙස දැනුම් දී ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ ඉන්දියාවේදී හා මෙරටදී පැවැති සාකච්ඡාවකදීය.


ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ නාගපට්නම් ආශ්‍රිත ප්‍රදේශයක සිට මුහුද පතුලෙන් ශ්‍රී ලංකාවට එලන නළ පද්ධතිය වවුනියාව දක්වා පැමිණීමට නියමිතය. 
එහිදී එක් නළ මාර්ගයක් ත්‍රිකුණාමලය දක්වාද අනෙක් නළ මාර්ගය මන්නාරම දෙසට ගොස් කොළඹ දක්වාද පැමිණීමට සැලසුම් සකස් කර තිබේ.


ඉන්දීය රජය හා ඉන්දියානු තෙල් සමාගම ඉන්දියාව පාර්ශ්වයෙන් කෙරෙන කටයුතු බොහෝමයක් මේ වන විට අවසන්ව ඇති අතර මෙරට පාර්ශ්වයෙන් කෙරෙන අධ්‍යයන කටයුතු යම් ප්‍රමාදයකට ලක්ව ඇත්තේ පෞද්ගලික ඉඩම් මතින් ද මෙම නළ මාර්ගය ගමන් කිරීමට පවතින ඉඩකඩ අධිකවීම නිසාවෙනි.


කෙසේ වෙතත්, හැකි ඉක්මනින් මෙම නළ මාර්ගය ඉදිකිරීමට ඉන්දියානු තෙල් සමාගම සූදානම් බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී දැනුම් දී තිබේ. 


එසේම මෙම නළ මාර්ගය දෙපැත්තටම ඉන්ධන ප්‍රවාහනය කළ හැකි ආකාරයට ඉදි කිරීමට යෝජිතය.