ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අස්සන් කිරීම මාර්තුවේ ?


උපුල් වික්‍රමසිංහ

ඉන්දියාව සමග දැනට සාකච්ඡා අදියරේ පවතින ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (එට්කා) ට මේ වසරේ මාර්තු වෙන විට අස්සන් තැබීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි. ඊට අදාළ සාකච්ඡා මේ වෙන විටත් පැවැත්වෙන අතර, රටවල් දෙකෙහිම වෙළෙඳාම දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් තීරු බදු අඩු කිරීම සඳහාත් අපනයනවලදී තීරු බදු නොවන බාධක ඉවත් කිරීම සඳහාත් සාකච්ඡාවලදී අවධානය යොමුව ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් සාකච්ඡාවලට සහභාගි වන කණ්ඩායමේ ප්‍රධානී කේ.ජේ. වීරසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඒ යටතේ ඉන්දියාව සියයට 90 දක්වා තීරු බදු අඩු කිරීමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකාව සියයට 80 දක්වා තීරු බදු අඩු කිරීමට අපේක්ෂා කරන බවත්, කී ඒ මහතා සේවා, ආයෝජන, ආර්ථික සහයෝගීතාව යනාදී විවිධ ක්ෂේත්‍ර මේ ගිවිසුමට ඇතුළත් වන බව ද ප්‍රකාශ කළේය.


මේ අතර ඉන්දුනීසියාව සමග වරණීය වෙළෙඳ ගිවිසුමකට (Preferential Trading Arrangement) ට එළැඹීමට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, බංග්ලාදේශය සමග ද එවැනි ගිවිසුමකට ඇතුළත් වීම සඳහා මේ වසරේ මාර්තු වන විට සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවත් වීරසිංහ මහතා කීවේය. චීනය හා මැලේසියාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට අදාළ සාකච්ඡා ද මේ වසරේදී කඩිනම් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.