ආර්ථික ගැටළු නිසා උපත් අඩුවෙලා


සුජිත් හේවාජුලිගේ

දිවයින පුරා පාසල්වල පන්ති කාමරවල දරුවන් අඩුවීමේ අවදානමක් ඉදිරියේදී මතුවිය හැකි බවට අධ්‍යාපන බලධාරීහු අනතුරු අඟවති.

මෙවැනි අවදානමක්  මතුවී ඇත්තේ  ආර්ථික ගැටලු‍ ප්‍රධාන විවිධ කරුණු හේතුවෙන් රටේ දරු උපත් ප්‍රමාණය සැලකිය යුතු ලෙස  අඩුවෙමින් පැවතීම නිසා බවද එම බලධාරීහු සඳහන් කරති. මේ හේතුවෙන් පාසල් පවත්වාගෙන යෑමටද ඉදිරි කාලයේදී ගැටලු‍කාරී තත්ත්වයක් මතුවිය හැකි බව ඔවුහු අවධාරණය කරති.


මේ සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රටේ ලියාපදිංචි කෙරෙන උපත් සංඛ්‍යාව අඩුවෙමින් පවතින බවයි. පසුගිය වර්ෂයේදී ලියාපදිංචි කර තිබුණේ දරු උපත් දෙලක්ෂ හැත්තෑ පන් දහසක් පමණක් බව පැවසූ එම නිලධාරියා ඊට පෙර වසරේදී  ලියාපදිංචි උපත් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා තිබූ බවද සඳහන් කළේය.