ආර්ථික අර්බුදයෙන් ආගමික ස්ථාන වලටත් පීඩා


සුජිත් හේවාජුලිගේ 

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පන්සල්, පල්ලි ඇතුළු ආගමික ස්ථාන පවත්වාගෙන යෑම අද ගැටලුසහගතවී ඇතැයි ඒවායේ ආරංචි මාර්ගවලින් පැවසේ.


මේ ත්ත්වය හේතුවෙන් බොහෝ විහාරස්ථානවලට  දාන මාන  පවා කලට වේලාවට නොලැබෙන  තත්ත්වයක් පවතී. මේ අතර ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බොහෝ ජනතාව දාන මාන කටයුතු සියයට පනහකින් පමණ අඩු කර ඇතැයි විහාරාධිපති  හිමිවරු පෙන්වා දෙති.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දාන බාර ගැනීම මෙන්ම දාන දෙන  දින ගණන්ද  අඩු කරගෙන ඇති බවද  ඒ  හිමිවරු පවසති.


පන්සල්වලට දාන දුන් සමහරුන්ට ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඒ කටයුතු දිගටම කරගෙන යෑමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේලා,  පන්සල්වලට දාන දුන් සමහරුන්ට පන්සල්වලින් උදව් කිරීමට සිදුව ඇති බවද  සඳහන් කරති. ඇතැම් විහාරස්ථානවලට දාන අඩුවීම හේතුවෙන් සමහර වේල් එම විහාරස්ථානවලම පිළියෙල කර ගැනීමට පෙළඹී සිටින බවද වාර්තාවේ.

එසේම පන්සල්වල පින් කැටවලට මුදල් එකතු වීමද පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන්  සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි  ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ආර්ථික ගැටලු‍ව පන්සල් ඇතුළු විහාරස්ථානවල තදින්ම බලපා ඇතැයි  පිළිගන්නා බවයි. කෙසේ වෙතත් විහාරස්ථානවලට හැකි සෑම උදව්වක්ම කිරීමට අමාත්‍යංශය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.