ආයුර්වේද වෛද්‍යවරුන් දහ අට දාහක් හොර පාරේ වැඩ


විගණන වාර්තාවක් කියයි.

ලියාපදිංචි සහතික හොර පාරේ යන අවදානමක්

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

ආයුර්වේද වෛද්‍යවරුන් 18,516ක් සිය ලියාපදිංචිය අලු‍ත් කිරීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

සෑම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකුම වසර පහකට වරක් සිය ලියාපදිංචිය අලු‍ත් කරගතයුතු නමුත් ආයුර්වේද වෛද්‍ය සභාව ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කර නැතැයිද එම වාර්තාවේ දැක්වේ.


මේ අතර, පසුගිය වර්ෂයේ දී සහ 2021 වර්ෂයේදී ලියාපදිංචිය  අලු‍ත් කළ යුතු වෛද්‍යවරුන් 430 කට අදාළ අලු‍ත් කිරීමේ ගාස්තු ලෙස රුපියල් 795,600 ක මුදලක්  ආයුර්වේද වෛද්‍ය සභාව ගණනය කර තිබූ නමුත් එම ආදායම් එකතු කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබූ බවද ජාතික විගණන කාර්යාලය පවසයි.
ලියාපදිංචි වෛද්‍යවරුන් 26,650 න් 3,827 මියගොස් ඇති බවට වාර්තා කර තිබූ නමුත්, එම මියගිය පාරම්පරික වෛද්‍යවරුන් පිළිබඳව නිවැරදි තොරතුරු යාවත්කාලීනව ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බවද පවසන එම කාර්යාලය, මියගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අවලංගු කර, ඒ පිළිබඳව මහජනතාවට නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බැවින්, අදාළ ලියාපදිංචි සහතික අවභාවිතා කිරීමේ ඉඩකඩක් පවතින බවටද නිරීක්ෂණය වී යැයිද සඳහන් කළේය.
මේ තොරතුරු සඳහන් වන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.