ආයුර්වේද වෛද්‍යවරු 1700 කට රස්සා නෑ


ඉන්දික හේවාවිතාරණ

ආයුර්වේද වෛද්‍ය සේවාවට 2019 වසරේ සිට නිසි ලෙස බඳවා ගැනීම් සිදුනොකිරීම නිසා ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍යවරුන් 1700කට ආසන්න පිරිසක් රැකියා විරහිතව සිටින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රෝහල්වල වෛද්‍ය පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින බැවින්  ආයුර්වේද වෛද්‍ය සේවාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව ඔවුහු සඳහන් කරති. 


සේවයේ නිරත වෛද්‍යවරයකුට දිනකට රෝගීන් විශාල පිරිසකට ප්‍රතිකාර කිරීමට සිදුවීමෙන් වෛද්‍යවරුන් දුෂ්කරතාවට පත්ව සිටින බවත් එම සංගමයේ ලේකම් ආයුර්වේද වෛද්‍ය අජිත් උපශාන්ත මහතා සඳහන් කළේය.


වර්තමානයට ගැළපෙන ලෙස ආයුර්වේද වෛද්‍ය සේවාවට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය ගණනය කර නොමැති අතර, මීට වසර කිහිපයකට පෙර ගණනය කළ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය සලකා බැලු‍වද මේ වෙන විට පුරප්පාඩු 219ක් පමණ තිබෙන බවද හෙතෙම පැවසීය.


රැකියා විරහිත වෛද්‍යවරුන්ට අමතරව ආයුර්වේද වෛද්‍ය පුහුණුව අවසන් කර සීමාවාසික පුහුණුවට බඳවා නොගත් 400කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවත්, මෙම පිරිස් සඳහා සීමාවාසික පුහුණුව ලබාදීම ප්‍රමාද කිරීම මෙම පිරිසට කරන අසාධාරණයක් බවත් ඒ මහතා සඳහන් කළේය.


වෛද්‍ය පුහුණුව අවසන් කරන සෑම ශිෂ්‍යයකුම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරගැනීමට සීමාවාසික පුහුණුව ලබා ගතයුතු බවත්, මෙම පිරිස් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම ප්‍රමාද කිරීමෙන් සිදුවන්නේ තවත් මාස කිහිපයකින් වෛද්‍ය අධ්‍යාපනය අවසන් කරන වෛද්‍ය සිසුන් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවීම බවත් හෙතෙම පැවසීය.


ආයුර්වේද වෛද්‍ය සේවාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දෛනිකව රෝගීන් විශාල ප්‍රමාණයක් රෝහල්වලට පැමිණෙන බවත්, මේ නිසා එම සේවාවට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය ගණනය කර රැකියා විරහිත වෛද්‍යවරුන් වෛද්‍ය සේවාවට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය  බවත් ලේකම්වරයා සඳහන් කළේය.