ආයතන රැසක දත්ත වැනසිලා


සයිබර් ප්‍රහාරය ගැන සී.අයි.ඩි.යෙන් පරීක්ෂණ

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ 

මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින්  කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්  ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් අප තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සයිබර් ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි.


පසුගිය අගෝස්තු මස 26 වැනිදා කෙරුණු මෙම සයිබර් ප්‍රහාරයෙන් රජයේ ආයතන රැසක දත්ත අහිමි වී ඇති බව පැවසූ වැඩබලන අමාත්‍යවරයා මාස දෙකක පමණ දත්ත එකතු කිරීමට ඇති බවද සඳහන් කළේය. එම දත්ත එකතු කරගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.


මේ අතර මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයෙන් හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන්ද වාර්තා  කැඳවා ඇති  බව  කනක හේරත් මහතා වැඩිදුරටත් පැවසීය. මෙම සයිබර් ප්‍රහාරයේ අරමුණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම  කරුණු සොයා බලා ගෙන යයි.