ආනයනික ඖෂධ බොහොමයක් තත්ත්ව පරීක්ෂණයට ලක්කර නැහැ - වෛද්‍ය වෘත්තික සංගම්


උපුල් වික්‍රමසිංහ

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පසුගිය කාලයේදී රටට ගෙන්වූ බොහෝ ඖෂධවල රසායනාගාර තත්ත්ව පරීක්ෂණ නිසි පරිදි සිදු කර නොමැති බව වෛද්‍ය වෘත්තිකයෝ පවසති.


වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 21 ක තරුණියක පේරාදෙණිය ‌ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද සෙෆ්ට්‍රිඇක්සෝන් Ceftriaxone නමැති ප්‍රතිජීවක එන්නත ලබා දීමෙන් පසුව බවත්, කළ යුත්තේ එම ඖෂධය භාවිතය තාවකාලිකව අත්හිටුවා රසායනික තත්ත්ව පරීක්ෂණයකට යොමු කිරීම බවත්ය.

රසායනාගාර තත්ත්ව පරීක්ෂණයේදී එම එන්නත භාවිතයට නුසුදුසු බව තහවුරු වුවහොත් සියලු රෝහල්වලින් එන්නත එකතු කර වෛද්‍ය සැපයුම් ඒකකයට කැඳවා ආනයනික සමාගම සමග සාකච්ඡා කර ඒවා එවූ රටටම යළි යැවිය යුතු බවත් අදාළ එන්නත භාවිතයෙන් සිදු වූ හානි එකී සමාගමෙන්ම ප්‍රතිපූර්ණ කර ගත යුතු බවත් කී එම සන්ධානයේ සභාපතිවරයා ලංකාවේදී එම ක්‍රියාවලිය අනුගමනය නොකෙරෙන බවද කියා සිටියේය. 
අදාළ තරුණියගේ මරණය සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් හා සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් සිදු විය යුතු බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා, ඖෂධවල ප්‍රමිතිය ගැන රෝගීන්ට මෙන්ම වෛද්‍යවරුන්ටත් අවිනිශ්චිතතා තිබෙන බවත් ඖෂධ භාවිතයෙන් රෝගීන්ට ගැටලු මතු වූ විට අර්බුදයට පත් වන්නේ වෛද්‍යවරුන් මිස සෞඛ්‍ය බලධාරීන් නොවන බවත් පෙන්වා දුන්නේය.


රටට ගෙන්වන සියලු ඖෂධවලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි විය යුතු බවද රටේ පවතින ඖෂධ හිඟයට මුවා වී ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වීමට ඉඩ නොදිය යුතු යැයි ද අවසන් විසඳුම වශයෙන් ජාතික ඖෂධ තත්ත්ව නියාමන විද්‍යාගාරයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ අදාළ තරුණියගේ මරණයට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණය වී නැතත් ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු වන බවත් සෙෆ්ට්‍රිඇක්සෝන් නමැති ප්‍රතිජීවක එන්නත ඉන්දියාවෙන් ගෙන්වන ලද්දක් බවත් එය මේ දක්වා පේරාදෙණිය රෝහලේ රෝගීන් 2700 කට ලබා දී ඇතත් ඒ කිසිවකුට අසාත්මිකතාවක් හට නොගත් බවත්ය.


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ අදාළ එන්නත භාවිතය තහනම් කළ යුතු බවට මේ දක්වා ඉල්ලීම් ඉදිරිපත්ව නැති බවත් එය ලියාපදිංචි එන්නතක් බවත්ය.