ආනයන සීමා කළ භාණ්ඩ සියයට හතළිහකින් මිල නගියි


(දයාසීලි ලියනගේ)   

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සීයට සීයක්ම ආන්තික මුදල් තැන්පතුවක් කළ යුතු බවට රජය කර ඇති නියමය නිසා අවම වශයෙන් එම භාණ්ඩවල මිල 40% කින් වත් ඉහළ යනු ඇතැයි විශ්වාස කරන බව ආනයනකරුවෝ සඳහන් කරති.   

මෙතෙක් කලක් ණයවර ලිපි යොද‌ාගෙන භාණ්ඩ ආනයනය කර, අලෙවියෙන් පසු මුදල් ගෙවීම සිදු කළ බව ද ඔවුහු සඳහන් කරති.  පසුගිය කාලය තුළ රටේ පැවති ඩොලර් හිඟය නිසා නිසි වෙලාවට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් සැපයුම්කරුවන් භාණ්ඩ සැපයීම නොකරන බව ද ඔවුහු සඳහන් කරති.   
සරලව සඳහන් කරන්නේ නම් ආනයනකරුවන් භාණ්ඩ ආනයනයේදී කරනු ලබන්නේ “රෝල ගැහීමක්” බව ද ඔවුහු කියති.   
100% මුදල් යෙදවීමේ ක්‍රමය අනුව බොහොමයක් ආනයනකරුවන්ට එලෙස මුදල් යෙදවීමට නොහැකි වීමෙන් භාණ්ඩවල තදබල හිඟයක් ඇති වන අතර තිබෙන භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ද සඳහන් කරති.   


අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස නම් කරන බොහොමයක් භාණ්ඩ පුද්ගල අවශ්‍යතා මත අත්‍යවශ්‍ය වන බව ද ඔවුහු සඳහන් කරති. දැනට මාස දෙකකට ප්‍රමාණවත් තරම් භාණ්ඩ වෙළෙඳපොළේ පවතින අතර ඒවායේ මිල ද වේගයෙන් ඉහළ ගොස් ඇතැයි ඔවුහු කියති.   


මේ අතර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වශයෙන් රජය සඳහන් කළ ලැයිස්තුවේ බොහොමයක් භාණ්ඩ අත්‍යවශ්‍ය වී ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරයි. දුරකථන, පරිගණක, ගෘහ උපකරණ හා ආහාර ද්‍රව්‍ය ආදියේ මිල ඉහළ යාම බරපතළ ගැටලු‍වක් බව ද පාරිභෝගිකයෝ සඳහන් කරති.