අවුරුදු විස්ස-තිහ අතර ජනගහණයෙන් තවත් කොරෝනා රැල්ලකට ඉඩ?


(දයාසීලි ලියනගේ) 

වයස අවුරුදු විස්සත් තිහත් අතර අයගෙන් සියයට 50 කට වැඩි පිරිසක් මෙතෙක් එන්නත ලබා නොගැනීම නිසා කොරෝනා ව්‍යාප්තියේ තවත් රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. 


මෙම වයසේ පසුවන ලක්ෂ තිස් තුනක පිරිසට රට විවෘත කිරීමට පෙර එන්නත ලබාදීමට තීරණය කර තිබුණත් එය සාර්ථක නොවීම බරපතළ කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.

ලැබී ඇති වාර්තාවලට අනුව ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වයස 20 ත් 60ත් අතර සිටින අය වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස්වලට අනුව වයස 12 ත් 18 ත් අතර අයට ෆයිසර් එන්නත ලබා දිය යුතු වේ. වයස විස්සත් තිහත් අතර අයට සයිනොෆාම් එන්නත ගැටලු‍වක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇතැයි ද ඔහු කීය.

 
දෙමව්පියන් බහුතරයක් මේ වනවිට සයිනොෆාම් එන්නත ලබාගෙන ඇති අතර ඔවුන්ගේ දරුවන්ට සයිනොෆාම් එන්නත ලබා දීමට මැලි වන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලු‍කාරී බව ද වෛද්‍ය සොයිසා මහතා කීය. 


විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර එක් ශිෂ්‍යයෙක් හෝ ආසාදිත වුවහොත් ඔහු සිටින ශිෂ්‍ය කණ්ඩායමම නිරෝධායනයට ලක්කිරීමට සිදුවීමේ තත්ත්වයක් ඇතිවන බවද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.