අවශ්‍ය තරම් තොග ඇවිත් සීනී තොග මිල 120-145 අතර


(මහින්ද නිශ්ශංක)  

අර්තාපල්, බී ලුනු, සහල් හා කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයන කරනු ලබන කුඩා ව්‍යාපාරිකයන් රැසක් අලුතෙන් සීනි ආනයනයට පෙලැඹී ඇතැයි පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානයෙන් වාර්තා වේ.  
ඩොලර් හිඟය තවමත් පැවතිය ද අලුතින් සීනි ආනයනයට එක් වූ මෙම කුඩා ව්‍යාපාරිකයන් අනියම් මාර්ගවලින් අවශ්‍ය මුදල් ඉන්දියාවට යැවීමෙන් සීනි ආනයනය කරන බව දැන ගන්නට තිබේ. 

ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන්ට අමතරව මෙම කුඩා ව්‍යාපාරිකයෝ සීනි ආනයනය කිරීම හේතුවෙන් මේ වන විට සීනි කිලෝවක තොග මිල රුපියල් 145 - 120 දක්වා පහත බැස ඇති බව ආනයනකරුවෝ පවසති.  


මේ අනුව පිටකොටුව පොදු වෙ​ෙළඳ මධ්‍යස්ථානය සීනි ආනයනකරුවන්ගෙන් පිරී ගොස් ඇති අතර, අවශ්‍ය තරම් සීනි තොග තිබෙන බව ද වාර්තා වේ.  


මේ අතර ඉකුත් වසරේ ඔක්තෝබර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50.00 ක්ව පැවැති සීනි කිලෝවක ආනයන බද්ද ශත 25 දක්වා අඩුකළ අතර මේ වන විට සීනි ආනයනය කිරීම සඳහා ඕනෑම ව්‍යාපාරිකයකුට අවස්ථාව සලසා ඇත.