අලු‍ත් අල්ලස් කොමිසමට පැති හතරක විද්වතුන්


සුජිත් හේවාජුලිගේ 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි සති දෙක ඇතුළත පිහිටුවීමට නියමිත බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. අලු‍ත් කොමිසම ක්‍රියාත්මක වන දිනය නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ද ඔහු සඳහන් කළේය.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පසුගිය  ජූලි මස 19 වැනිදා  සම්මත වූ අතර නව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පිහිටුවනු ලබන්නේ එම පනතේ විධිවිධානවලට  අනුවය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනට ක්‍රියාත්මක වන්නේ වැඩ බලන කොමසාරිස්වරුන් යටතේය.


එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස විවිධ ක්ෂේත්‍රවල හසළ අත්දැකීම් සහිත විශේෂඥයන් පත් කිරීමට නියමිතව ඇතැයි ද විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රටේ අල්ලස හා දූෂණය පිටුදැකීමේ යාන්ත්‍රණය තවදුරටත් සක්‍රීය කිරීම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ අරමුණයි. දූෂණ විරෝධී පනත සම්මත වුවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පිහිටුවීම විවිධ තාක්ෂණික කාරණා හේතුවෙන් ප්‍රමාද විය.