අලුත් බදු ළඟදීම මැතිසබයට


මුදල් ඇමැති අලිසබ්‍රි හෙළි කරයි

උපයන විට ගෙවීම හා රඳවා ගැනීමේ බදුත් ඒ අතර

(සුජිත් හේවාජුලිගේ)  

රජයේ ආදායම වැඩි කර ගැනීමේ පියවරක් ලෙස විශේෂ බදු වර්ග ගණනාවක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

විශේෂ රඳවා ගැනීමේ සහ උපයන විට ගෙවීමේ බදුද ඒ අතර වන බව පැවසූ ඇමැතිවරයා එය අනිවාර්‌යයෙන්ම කළ යුතු කටයුත්තක් වන බවද ප්‍රකාශ කළේය. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවත් එම අරමුදලෙන් මූලික ණය මුදලක් ලැබීමට අඩු තරමින් මාස හයක කාලයක් ගත වනු ඇති බවද මුදල් අමාත්‍යවරයා කීවේය.  


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කල්තියා නොයෑම නිසා අර්බුදය උග්‍රවූ බව පැවසූ අලි සබ්‍රි මහතා එසේ නොයෑමට තීරණය කළේ නම් විදේශ විනිමය උපයා ගැනීමට ක්‍රමවේද සකස් කර ගත යුතුව තිබූ බවද ප්‍රකාශ කළේය.  
අර්බුදය තවත් වසර දෙකකින්වත් විසඳිය හැකි යැයි තමා විශ්වාස නොකරන බවද අමාත්‍යවරයා කීවේය.