අරගලකරුවන්ගේ සත්‍යග්‍රහයට පොලිස් - මැර ප්‍රහාරයක්


යොහාන් භාසුර සහ මුදිතා දයානන්ද

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සෙනසුරාදා කොළඹ දී පැවැත්වීමට නියමිත වූ විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට අරගලකරුවන් පිරිසක් ‘කොහේ තියෙන නිදහසක්ද?’ යන තේමාව යටතේ ඉකුත් 03 ද‌ා පස්වරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහයට රාත්‍රී 9.00 ට පමණ දැවැන්ත ජල සහ බැටන් ප්‍රහාරයක් ක්‍රියාත්මක කළ පොලිසිය උපවාසකරුවන් එම ස්ථානයෙන් පන්නා දැමීය.

ඊට පෙර මැර කණ්ඩායමක් පැමිණ සත්‍යග්‍රහයට පහරදුන් බව ද වාරතා වේ. විනාඩි 30 ක් පමණ ජල ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම නිසා එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ජලයෙන් පිරී ගිය අතර, ජල ප්‍රහාරය මධ්‍යයේ ද අරගලකරුවෝ එම ස්ථානයේ රැඳී සිටියහ.


ඉන් පසුව පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එම පිරිසට එළව එළවා පහර දෙමින් එම ස්ථානයෙන් ඉවත් කළ අතර, අරගලකරුවෝ එම ස්ථානයෙන් ඉවත්ව වෙනත් ස්ථානයක රැස්වූහ. ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අධිකරණ නියෝගයක් පෙන්වා එම ස්ථානයෙන් ඉවත් වන ලෙස බල කළ ද එහිදී නීතිඥයන් ඇතුළු පිරිස සාමකාමීව ක්‍රියාත්මක සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයෙන් බලපෑමක් නොමැති බවද පොලිසියට පෙන්වා දුන්හ.


ඒ අනුව පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු මැර කණ්ඩායමක් පැමිණ සත්‍යග්‍රහයට පහර දුන් බව ද වාර්තා වේ. මැර කණ්ඩායම ඉවත්ව ගිය පසු පොලිසිය දැවැන්ත ජල ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවත් ඉන් පසුව එළව එළවා පහර දුන් බවත් අරගලකරුවෝ පැවසූහ.