අයිතිකරුවන් රැසක් කම්හල් වහලා රට ගිහින්


සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

රටේ කර්මාන්තශාලාවල නිෂ්පාදනය සමස්ත ධාරිතාවෙන් සියයට 25 ටත් අඩු ප්‍රමාණයක් දක්වා පහළ වැටී ඇති බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා මේ තත්වය අවම කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි වැඩපිළිවෙළක් රජයට දැනටමත් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය. ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ඇඟලු‍ම් කර්මාන්තශාලා බොහොමයක් වසා දමා ඒවායේ හිමිකරුවන් විදේශ රටවල එම කර්මාන්තශාලා ස්ථාපිත කරමින් සිටින බව පාර්ලිමේන්තු කාරක සභාවට තොරතුරු හෙළිදරව්වී ඇතැයි ද වලේබොඩ මහතා පැවසීය.


විදුලි ගාස්තු, තීරු බදු ගාස්තු, කර්මාන්ත පිරිවැය ඉහළ යෑම මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය විශාල වශයෙන් පහළ ගොස් නව ඇණවුම් ලැබීම අඩු වීමද මේ තත්වය ඇති කිරීමට බලපා ඇති ප්‍රධාන කාරණා බව ආර්ථික අර්බුදය සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.