අයවැයෙන් සියයට 86 ක් අමාත්‍යංශ 8 කට බෙදෙයි


අධ්‍යාපන වියදම ආරක්ෂක වියදමෙන් භාගයක්වත් නෑ

සුජිත් හේවාජුලිගේ

මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 8කට මුළු මුදලින් සියයට 86ක් වැය කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

අමාත්‍යාංශ විසි එකකට වෙන් කෙරෙන්නේ සියයට 14කට වඩා අඩු මුදලක් බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යාංශ දෙකකට වැය කිරීමට අපේක්ෂා කරන මුදල මුළු වියදමෙන් සියයට 42ක් බව පවසන මහාචාර්යවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් කෝටි 56,500 ක් වැය කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය. එය මුළු වියදමින් සියයට  15 ක් බවද  ඔහු ප්‍රකාශ කළේය.


අධ්‍යාපනය සඳහා වැය කෙරෙන්නේ රුපියල් කෝටි 23,700 ක් පමණක් බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා එය ආරක්ෂාව සඳහා කරන වියදමින් භාගයක්වත් මුදලක් නොවන බව ද සඳහන් කළේය.


සෞඛ්‍යය සඳහා රුපියල් කෝටි 44,000 ක් වන අතර එය ආරක්ෂක වියදමට වඩා අඩු මුදලකි. 


ණය ගෙවීම් හැර රජයේ අමාත්‍යාංශ 29 කට සහ විශේෂිත වියදම් ඒකකයට අදාළව වියදම් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 386,000 ක් බවත් එය පෙර වසරට වඩා රුපියල් කෝටි 20,300 ක පමණ  වැඩිවීමක් බව ද මහාචාර්යවරයා පැවසීය. ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලංකාවේ ආර්ථික අර්බුදයට එහා ගිය කඩා වැටීමක් පෙන්නුම් කරන එකක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.