අපේක්ෂකයන් අසූදාහෙන් විසිදාහකටම විවිධ චෝදනා


දයාසීලි ලියනගේ  

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන් 80,000ක පිරිසගෙන් 20,000ක පමණ පිරිසක් විවිධ චෝදනාවලට ලක්වූවන් බව වාර්තා වේ. විශේෂයෙන් පළාත් පාලන ආයතන නියෝජනය කරන සභිකයන් අතර ඥාතීන්ට කොන්ත්‍රාත් ලබාදීම, කඩ කාමර බදු දීම ආයතනය සතු දේපල අයථා ලෙස පාවිච්චි කිරීම මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමිතියෙන් තොරවීම ඇතුළු චෝදනා රාශියක් ලබා ඇති අය මේ අතර සිටින බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කරනු ලැබූ විමසී​මේ දී පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙලෙස චෝදනා ලබා ඇති සභිකයන් පිළිබඳව තමන් විමර්ශනයක් කරන බවයි.  


මේ වන විට​ පළාත් පාලන ආයතන නියෝජනය කරන බොහොමයක් සභිකයන් මෙවරත් නාමයෝජනා භාරදී තිබෙන අතර, ඔවුන් අතර විවිධ චෝදනාවලට ලක්වූවන් සිටින බවද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. මේ අතර ‘‘ඉරිදා ලංකාදීපයට’ වාර්තා වන ආකාරයට මෙවර නාමයෝජනා ඉදිරිපත් කළ අය අතර ඝාතන චෝදනා ලැබූ පස් දෙනෙක් සිටින බව සඳහන් වේ.