අන්තවාදයට උදව්කළ ලාංකිකයන් 52ක් එතෙර සිට ලංකාවට ගෙනත්


ප්‍රහාරයට ලක්ෂ 400ක්  වැය කරලා  

මහාචාර්ය රොහාන් ගුණරත්න හෙළිකරයි 

(උපුල් වික්‍රමසිංහ)   

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට හා අන්තවාදයට ඍජුවම සම්බන්ධ වීම හා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ 2020 ජනවාරි සිට මේ දක්වා විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් 52 දෙනෙකු මෙරටට ගෙනැවිත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සකස් කළ වාර්තාවේ සඳහන් වන බව අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පැවසීය.   

අදාළ ත්‍රස්ත ප්‍රහාරයේදී මිය ගිය ඇමෙරිකානු ජාතිකයන් පස්දෙනකු ඇතුළුව ඝාතනය වූ විදේශිකයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් උසාවිය මගින් දැනටමත් මෙරට අත්අඩංගුවේ පසුවන මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර්, මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයතු මොහොමඩ් යන අයට එරෙහිව නඩු පවරා ඇතැයි ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.   
එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය මගින් සකස් කළ වාර්තාවට අනුව අදාළ ප්‍රහාරය සඳහා රුපියල් ලක්ෂ 400 ක මුදලක් වැය වී ඇති බවද සිනමන් ග්‍රෑන්ඩ් හා ෂැංග්‍රිලා හෝටල්වලට ප්‍රහාර එල්ල කළ ඊබ්‍රාහිම් සොහොයුරන්ගේ පියා වන ප්‍රකට කුළු බඩු ව්‍යාපාරික ඊබ්‍රාහිම් හජ්ජියාර් විසින් ඉහළම මූල්‍ය දායකත්වය සපයනු ලැබ ඇති බවද ගුණරත්න මහතා කීවේය.   


එසේම 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට පුද්ගලයන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් 211 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් කී මහාචාර්යවරයා 48 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බවද සඳහන් කළේය.   
වර්තමාන රජය බලයට පත් වූ පසු පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ දක්වා 165 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් 42 දෙදෙනෙකු බන්ධනාගාරගත කර ඇති බවත් 93 ක් රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන බවද ඒ මහතා අනාවරණය කළේය. ඇප මත නිදහස් කර ඇති පිරිස 30 කි.   


මහේන්ද්‍රා පුලස්තිනී නොහොත් සාරා ජෙස්මින් සයින්දමරුදු පිපිරීමෙන් පසු වෙනත් රටකට පලා ගිය බවට පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පුද්ගලයන් දෙදෙනෙකු සාක්ෂි ලබා දුන්නද තමන් ප්‍රකාශ කළේ අසත්‍යයක් බව පසුව ඔවුන් දෙදෙනා පිළිගත් බවද මහාචාර්යවරයා කියා සිටියේය.   


සාරා ජෙස්මින් ඇතුළු 17 දෙනෙකු රැඳී සිටි සයින්දමරුදු නිවෙසේ සිදු වූ පිපිරීමෙන් පසු සිදු කළ ඩීඑන්ඒ පරීක්ෂණ දෙකෙහිදීම සාරාගේ ඩීඑන්ඒ නොගැළපුණ බවත් පිරිස අතර සිටි 06 දෙනෙකුගේ මෘත දේහ හැර සෙසු ඒවා හඳුනා ගත නොහැකි තරමට විනාශ වී තිබුණු බවත් සඳහන් කළ ගුණරත්න මහතා සෙසු අයගේ දේහ කොටස් හෝ ගොඩගෙන ඒවායෙහිද ඩීඑන්ඒ පරීක්ෂණ සිදු කිරීමට ඉඩ දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇති බවද පැවසීය.