අද හෙටම හරක් කටා ලංකාවට


නිමන්ති රණසිංහ 

ඩුබායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු මෙන්ම ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ ඔහුගේ බිරිඳ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවාව සමග එක්ව නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට ගොස් ඔවුන් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය. 

හරක් කටා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් ඩුබායි සිට මැලේසියාව බලා පිටත්වීම සඳහා ඩුබායි ගුවන් තොටුපළට පැමිණ සිටිය දී එරට ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඉකුත් 11 වැනිදා රාත්‍රියේ ය. 


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව කළ ඒකාබද්ධ රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස හරක් කටා සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත හැකි වූ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 


ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් මගින් සකස් කරගන්නා ලද අංක එම් 6692136 දරන ගුවන් ගමන් බලපත්‍රයේ සඳහන් නම හේරත් දිසානායකගේ රොෂාන් ඉශන්ක ලෙසින් වෙනස් කර ගනිමින් “හරක් කටා”‍ මෙලෙස ඩුබායි සිට මැලේසියාව බලා පිටත්ව යාමට පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 


පසුගිය කාලයේ දී මෙරට සිදුවූ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් වලින් 20 කට අධික ප්‍රමාණයක් මෙහෙයවා ඇත්තේ හරක් කටා නමැත්තා බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.