අත්‍යවශ්‍ය ආහාර 10 ක් රටින් ගේන්න අවසර


අජන්ත කුමාර අගලකඩ

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත. 

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් ලබන පළවැනිදා නිකුත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හාල්, සීනි, පරිප්පු, කිරිපිටි, වියළි මිරිස්, ලොකු ලූනු, හාල්මැස්සන්, අල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් බැංකුව හරහා ණයවර ලිපි විවෘත කිරීමකින් තොරව ආනයනය කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙන අතර, ඒ සඳහා මුදල් ගෙවීම සැපයුම්කරු සහ ආනයනකරු අතර ඇති කරගන්නා එකඟතාව මත සිදු කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත. 


මීට පෙරද මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ නමුත් ඉකුත් මැයි මස 8 වැනිදා සිට මහ බැංකුව විසින් එය තහනම් කරනු ලැබීය. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය මෙම තීරණය ගනු ඇතැයි ආරංචි මාර්ග කියයි.