අචාර ධර්ම කඩන මන්ත්‍රීන් කොටු කරන අධිකාරිය එයි


සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආචාර ධර්ම පිළිබඳව සෙවීම සහ ආචාර ධර්ම කඩ කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා අලු‍තින් පත් කිරීමට නියමිත ප්‍රමිති අධිකාරිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු‍ පක්ෂ නායකයන්ගේ අදහස් විමසීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලු‍ම පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවට ලබන 23 වැනිදා කැඳවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. ප්‍රමිති අධිකාරිය පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගිය දා හිමිවිය.


යම් මන්ත්‍රීවරයකු ආචාර ධර්ම කඩකර කටයුතු කළ හොත්  වරප්‍රසාද සහ ආචාර ධර්ම කමිටුව සමඟ එක්වී ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවට යෝජනාවක් කඩිනමින් ඉදිරිපත් කර ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම  අධිකාරියට බලය පැවරේ.


විශ්‍රාමික විනිසුරුවරුන්ගෙන් සමන්විත මෙම අධිකාරියට මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වෙනත් වරප්‍රසාද සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ද බලතල පැවරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. මහා බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පාර්ලිමේන්තු ගණනාවක ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරිය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරිය නමින් මෙම නව අධිකාරිය ස්ථාපිත කිරීම රජයේ යෝජනාවයි.