IMF හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම 26 දා


අංජුල මහික වීරරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන26 වැනි දා අත්සන් තැබීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රජය අතර සාකච්ඡා මේ දිනවල කොළඹදී පැවැත්වෙන අතර, ජනාධිපති නියෝජිත ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම සාකච්ඡාවලට සහභාගි වෙයි.


මෙම සාකච්ඡාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන තත්ත්වයන් ගැන සතුට පළ කර ඇති නමුත් යම් යම් ක්ෂේත්‍රවල පවතින මන්දගාමී ස්වභාවය ගැන ද කරුණු දක්වා තිබේ. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ ඉලක්කය අවශ්‍ය පරිදි සම්පූර්ණ කරගෙන නොමැති බව අයි.එම්.එෆ්. නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ.


එසේම ජනතාවට දැරිය නොහැකි මට්ටමට බදු පනවා තිබෙන බව පෙන්වා දී ඇති සාගල රත්නායක මහතා රජයේ ආදායම් වැඩිවීමට නම් ආයෝජන ද පැමිණිය යුතු බව කියා තිබේ. 


මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය මින් පෙර ගිවිසුම් අතරමග අතහැර දැමීම හේතුවෙන් මෙවර දැඩි කොන්දේසි පැනවීම සිදුවූ බවයි.