2024 දී පවුලක් මාසයකට රු.20,467 ක් වැට් ගෙවයි


2024 දී එක් පවුලක් මාසිකව ගෙවිය යුතු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 40,000 ඉක්මවයි

උපුල් වික්‍රමසිංහ

එළැඹෙන 2024 වසරේ දී පුද්ගලයන් සිවු දෙනකුගෙන් යුත් පවුලකට එකතු කළ අගය මත බදු (වැට්) වශයෙන් මාසිකව රුපියල් 20,467ක මුදලක් ගෙවන්නට සිදු වෙන බවත්, ඒ අනුව රජයේ වැට් ආදායම් ඉලක්කය කරා ළඟා වීමට නම්, එම වසරේ දී එක් පවුලක් විසින් ගෙවිය යුතු මුළු වැට් ප්‍රමාණය රුපියල් දෙලක්ෂ හතළිස් පන් දහස් හය සියය හතරක් (245,604) බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

වසර 2023 දී පුද්ගලයන් සිවු දෙනකුගෙන් යුත් එක් පවුලක් මාසිකව ගෙවිය යුතු වැට් ප්‍රමාණය රුපියල් නව දහස් නව සියය හතළිස් එකක් (9941) ක් යැයි ද එම අගය 2024 දී රුපියල් විසි දහස් හාර සියය හැට හතක් දක්වා වැඩි වීම නිසා එසේ වැඩි වෙන වැට් ගෙවීමේ අනුපාතය සියයට 105 ක් යැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.


වසර 2024 සඳහා රජයේ අපේක්ෂිත වක්‍ර බදු ආදායම රුපියල් බිලියන 2740 ක් බව ද එම වසරේදී හතර දෙනකුගෙන් යුත් පවුලක් රුපියල් හාර ලක්ෂ අසූ දහස් හත් සියය එක (480,701) ක මුදලක් වක්‍ර බදු වශයෙන් රජයට ගෙවිය යුතු යැයි ද කී ඒ මහතා 2023 දී සිවු දෙනකුගෙන් යුත් පවුලක් ගෙවිය යුතු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් තුන් ලක්ෂ තුන් දහස් අට සියය හැටක් (303,860) ක් බව ද කියා සිටියේය.


ඒ අනුව, ශ්‍රී ලංකාවේ පවුලක් 2023 වර්ෂයේ මාසයකට ගෙවන වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 25,321 කි. මේ අගය 2024 දී රුපියල් 40,058 දක්වා වැඩි වේ. එම වැඩි වීම රුපියල් 14,737 කි.