2023 මැද වෙද්දී ලංකාවේ එක් පුද්ගලයෙකු ලක්ෂ 12 ක ණයකරුවෙක් වෙලා


- මහාචාර්ය වසන්ත අතුකෝරළ

උපුල් වික්‍රමසිංහ

වසර 2023 ජූලි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් දොළොස් ලක්ෂ හැට හතර දහස් හත් සිය විසි තුනක් (1,264,723) වන බවත්, ඒ අනුව ඒක පුද්ගල ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් 3,840 ක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

වර්ෂ 2020 අවසානය වන විට මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය දැක්වුණේ රුපියල් හය ලක්ෂ අසූ නව දහස් හය සිය අසූ හතක් (689,687) වශයෙන් බව කී මහාචාර්යවරයා, 2023 මැද භාගය වන විට එම අගය දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.


වසර 2021 අවසානයේදී ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් හත් ලක්ෂ අනූපන්දහස් හතක් (795,007) වූ අතර 2022 අවසානයේදී එය රුපියල් දොළොස් ලක්ෂ තිස්නව දහස් හාර සිය හතළිස් එක (1,239,441) දක්වාත් 2023 ජූලි අග වන විට රුපියල් දොළොස් ලක්ෂ හැට හතර දහස් හත්සිය විසි තුන දක්වාත් ඉහළ ගොස් ඇති බව ද අතුකෝරළ මහතා කීවේය.