2023 දී කෝටි 13,000 ක එළවළු පලතුරු ගෙනැත්


රස කැවිලි ගේන්නත් කෝටි 14,000ක් වැය කරලා

සුජිත් හේවාජුලිගේ 

ඩොලර් හිඟයක් පවතින අවස්ථාවක විදේශයෙන් එළවළු සහ පලතුරු ගෙන්වීමට රජය ගිය වසරේදීත් (2023) රුපියල් කෝටි 12,966 ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට එළවළු ගෙන්වීමට ඊට කලින් වසරට සාපේක්ෂව පසුගිය වසරේදී රුපියල් කෝටි 1577 ක් වැඩිපුර වැය කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.


පලතුරු ගෙන්වීමට රජය ගිය වසරේදී රුපියල් කෝටි 1,308 ක් වැය කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. මේ අතර පාරිභෝජන භාණ්ඩ ආනයනයට පසුගිය වසරේදී රුපියල් කෝටි 99,321 ක පමණ මුදලක් වැය කර ඇතැයි පැවසූ මහාචාර්යවරයා එය පෙර වසරේ වියදමට වඩා රුපියල් කෝටි 12,095ක වැඩිවීමක් බව ද පෙන්වා දුන්නේය.
ආහාර සහ පාන වර්ග ආනයනයට  පසුගිය වසරේදී රුපියල් කෝටි 55,166ක් ද අනෙකුත් පාරිභෝජන භාණ්ඩ ආනයනයට රුපියල් කෝටි 44,154ක්ද  වැය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.


මේ අතර පසුගිය වසරේදී සීනි සහ රසකැවිලි ආනයනයට රුපියල් කෝටි 14,255ක් ද කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට රුපියල් කෝටි 8,862 ක් ද කුළුබඩු ආනයනයට රුපියල් කෝටි 4,373 ක් ද තෙල් සහ මේද ආනයනයට රුපියල් කෝටි 4,305 ක මුදලක් ද ධාන්‍ය  සහ ඇඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා රුපියල් කෝටි 3,849ක්ද වැය කර ඇති බව අතුකෝරළ මහතා කීවේය.


පසුගිය වසරේ දී මුළු ආනයන වියදම රුපියල් කෝටි 549,258 ක් බව පවසන මහාචාර්යවරයා ඉන් ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයනයට රුපියල් කෝටි 153,924ක් වැය කර ඇතැයි ද සඳහන් කළේය. එය මුළු ආනයන වියදමින් සියයට 28 ක් බව ද ඔහු පැවසුවේය.


මේ ද්‍රව්‍ය බොහොමයක් රටේ නිෂ්පාදනය කර රටේ අවශ්‍යතාව සපුරා ඉතිරිය විදේශයට අපනයනය කර විදේශ විනිමය සොයාගැනීමට  හැකියාව තිබූ  නමුත් එවැනි වැඩපිළිවෙළක් නැති බව නිරීක්ෂණය වූයේ යැයි වසන්ත අතුකෝරළ මහතා පැවසීය.