20,000 ක් පඩි වැඩි වීමක් ඉල්ලා හෙට ජාතික විරෝධතා දිනයක්


ඉන්දික හේවාවිතාරණ

රාජ්‍ය සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් විසිදහසක (20,000)  දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට (27 වැනි දින) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සඳහන් කරයි.

එදින දිවයින පුරාම පිහිටි  රාජ්‍ය හා  පළාත් රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට කටයුතු කරන බවත්, මේ අනුව ප්‍රධාන විරෝධතාව කොළඹ පිහිටි රාජ්‍ය පරිපාන අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්වෙන බවද එම එකමුතුවේ කමිටු සාමාජික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම්, චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.


මීට අමතරව, ප්‍රදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට හා අනෙකුත් රාජ්‍ය ආයතන ඉදිරිපිටදී රාජ්‍ය සේවකයින් දහවල් 12.00 ත් 1.00 ත් අතර කාලයේදී අදාළ ඉල්ලීම් මුල් කර ගනිමින් විරෝධතා ව්‍යාපර පැවැත්වෙන බවද පවසා සිටියේය‍.


අනිද්දා (28 වැනි  දින)  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.


මෙහිදී අදාළ ගැටලු‍ විසඳීමට කටයුතු නොකළහොත් ඉන්පසුව අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කරන බවද පවසා  සිටියේය
රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක මාසික දීමනාවක් ලබා දීමට යෝජනා කර තිබෙන බවත්, පවතින ආර්ථික අර්බුදය තුළ රුපියල් 10,000 ක දීමනාවක් ප්‍රමාණවත් නොවන බවත් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.


රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මුවා වී ලබන වසර තුළදී ආණ්ඩුව විසින් රුපියල් බිලියන 3,820 ක බදු ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා සමස්ත ජනතාවම දැඩි ලෙස පීඩාවට පත්වෙන බවත් හෙතෙම සඳහන් කරයි.


රජයේ නව බදු නිසා ජනවාරි මාසයේ සිට සෑම පුරවැසියෙකුටම දැනට ගෙවන බදු මුදලට අමතරව තවත් රුපියල් 13,000 ක බදු මුදලක් ගෙවීමට සිදුවෙන බවත්, එහෙත් රාජ්‍ය සේවක දීමනාව ලෙස මාසයකට හිමිවන්නේ රුපියල් දසදහසක (10,000 ක) මුදලක් පමණක් බවත් මෙම දීමනාව පවා හිමිවන්නේ අප්‍රේල් මසයේ සිට බවත් සූරියආරච්චි මහතා සඳහන් කළේය.


මීට අමතරව වැන්දඹු හා අනත් දරු අරමුදලට අයකර ගන්නා මුදල් ඉහළ දමා තිබෙන බවත්, එම තීරණය අහෝසි කළ යුතු බවත්, 2016 වසරින් පසු අහිමි කර තිබෙන පූර්ණ විශ්‍රාම වැටුප නැවත ලබා දිය යුතු බවත්, 2014 වසරේදී අහිමි කළ ශ්‍රේණි උසස් ක්‍රමය නැවත ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.