11 වැනිදා සිට දිගටම හර්තාල්


(නිශාන්ත කුමාර බණ්ඩාර සහ දයාසීලි ලියනගේ)   

ආණ්ඩුවට එරෙහිව ගෙන යන හර්තාල් ව්‍යාපාරය ලබන බදාදා (11) වැනිදා සිට අඛණ්ඩව දීපව්‍යාප්තව පැවැත්වීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගය පවසයි.  

ඉදිරියට පවත්වන විරෝධතා පිළිබඳව රටේ පවතින තත්ත්වය අනුව තීරණය කරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.  


ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අවනත වී ජනාධිපති, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉවත් විය යුතුබව එම පක්ෂය ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම එල්ල කරමින් සිටියි.  


මැතිවරණයක් නොපවත්වා තවදුරටත් කල්මැරීමෙන් දැනට පවතින අර්බුදය උග්‍ර අතට පත්වීම වැළැක්විය නොහැකි බවද ජනතාවගේ කැමැත්තට ඉඩදී පාර්ලිමේන්තු කාලය අවසන් කොට දැනට පවතින අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම අවශ්‍ය බවද ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සිකුරාදා සිට දින හතරකින් ඉල්ලීම ඉටු ​නොවුනොත් අඛණ්ඩ වර්ජනයක් පවත්වන බව අදාළ බලධාරීන්ට දැනුම් දී තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය.  


සෞඛ්‍ය, අධ්‍යාපන, වතු, විදුලිය, ජලය, දුම්රිය පෞද්ගලික බස් සංගම් ඇතුළුව වෘත්තීය සමිති හා විවිධ සමිති සංවිධාන 2000 කට අධික ප්‍රමාණයක සේවක පිරිස් එයට සහභාගිවීමට නියමිතව ඇත. රජයට හා ජනාධිපතිවරයාට ඉවත් වන ලෙසට ඉල්ලා පවත්වන අඛණ්ඩ වර්ජනයට ඉදිරියේදී තවත් අංශ එකතු වීමට නියමිත බවද ඔහු කීය.