ලොස් ඇන්ජලිස් දැවෙයි පාඩුව ඩොලර් මිලියන 56 ඉක්මවයි


ලවංගා දෑරංගල, සුදර්ශනී කෝණාර
ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ විනාශකාරීම ගින්න වාර්තාකරමින් ඉකුත් අඟහරුවාදා (7දා) සිට පැතිර යමින් ඇති ළැව් ගින්න පවතින සුළං හා වියළි දේශගුණික තත්ත්වයන් හමුවේ තවදුරටත් වර්ධනය වෙමින් ව්‍යාප්ත වන බව වාර්තා වේ.සිකුරාදා සවස් වෙනවිට ගින්න හේතුවෙන් පුද්ගල මරණ 10 ක් වාර්තා වී ඇති අතර පදිංචිකරුවන් 180,000කට ආසන්න ප්‍රමාණයක් අනතුරු සහිත ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 
මෙම ගින්නෙන් සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 56 ක් ඉක්මවා යනු ඇතැයි ගණන් බලා ඇත. සුපිරි නිවාස පිහිටි ප්‍රදේශ රැසක් මේ වනවිට අළු ගොඩවල් බවට පත්වී තිබෙන ආකාරය බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. 


ලොස් ඇන්ජලිස්හි ප්‍රදේශ පහක ළැව්ගිනි ඇවිළෙමින් පවතී. පලිසේඩ්ස් ප්‍රදේශයේ අක්කර 20,000 කට අධික භූමිය ප්‍රදේශයක් හා ගොඩනැගිලි 5,300ක් පමණ විනාශයට පත් ව ඇත. 
දෙවැනි විශාලතම ගින්න ඊටන් ප්‍රදේශයෙන් වාර්තා වේ. එය අක්කර 13,690ක් පුරා ගොඩනැගිලි 4000ක් විනාශ කරමින් පැතිර ඇත. වාර්තා වන මරණ සංඛ්‍යාව 5 කි. මෙම ගින්නෙන් පැසඩෙනාහි පැරණි යුදෙව් දේවාලයක්ද විනාශයට පත් ව ඇත. 
හසර්ට් ප්‍රදේශයේ අක්කර 850ක්, ලිඩියාහි අක්කර 350ක් හා පලිසේඩ්වලට උතුරින් වෙස්ට් හිල්ස් ප්‍රදේශයේ අක්කර 960 ක් වශයෙන් විනාශයට පත්ව තිබේ.
හොලිවුඩ් ප්‍රදේශයේ පැතිරෙමින් පැවති වුඩ්ලි ගින්න හා ඔලිවර්ස් ගින්න මැඩ පවත්වා ඇති නමුත් එමගින් අක්කර 100 කට ආසන්න භූමි ප්‍රදේශයක් විනාශයට පත් ව ඇත. සුප්‍රකට හොලිවුඩ් ලකුණ පිහිටි ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශ ගින්නට ගොදුරු වී ඇත. 
ගිනි නිවන භටයන් 1400 කට අධික ප්‍රමාණයක් මෙහෙයුම්වල නිරත නමුත් එම ප්‍රයත්න අසාර්ථක කරමින් පවතින දේශගුණික විපර්යාසයන් හේතු කොටගෙන ඉදිරි දිනයන්හි තවදුරටත් ගින්න පැතිරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර හොලිවුඩ් සහ අවට පැතිර යන ගින්නෙන් ලෝ ප්‍රකට හොලිවුඩ් තරු රැසකගේ නිවාස දැවී අළු වී ගොස් තිබේ. මැන්ඩි මුවර්, ඇනා ෆාරිස්, පැරිස් හිල්ටන්, ජෙෆ් බ්‍රිජ්ස්, ජේම්ස් වූඩ්, ජෝන් ගූඩ්මාන් සහ ඇන්තනී හොප්කින්ස් ඇතුළු නළු නිළියන් රැසකගේ නිවාස විනාශ වී ඇත.