අලුත් අවුරුද්දේ ජාතීන් අතර සමගිය අවබෝධය ඇතිවේවා-විපක්ෂ නායක සම්පන්දන්


ජාතීන් අතර, සමඟිය, හොඳහිත,  අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී,  සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි  විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරයි.

නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

‘‘ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවට පමණක් නොව, ලෝකයේ අනිකුත් රටවල්වල ජීවත් වන අපගේ දෙමළ ජනතාවට හා අප සමඟ එක්වී අලුත් අවුරුද්ද සමරන සිංහල ජනතාවට සුබ අලුත් අවුරුද්දකට සුබ පැතීමට ලැබීම සතුටට කරුණකි. 

අපගේ දෙමළ වර්ෂ හැටක් තිබේ. ඒ සියල්ලටම නමක්ද තිබේ.  එම වර්ෂ, වර්ෂාව, සුළඟ, කෘෂිභෝග යනාදී ස්වභාධර්මයේ ප්‍රතිඵල වෙනස් කළ හැකි ඒවා බවට විශ්වාස කෙරේ.  එම වර්ෂ  පිළිවෙලට අනුව 31 වෙනි වර්ෂය “ඒවිලම්බි”  ලෙස හඳුන්වයි.  ඒවිලම්බි වර්ෂය මෙම වසරේ අප්‍රේල් මස 14 වන අද දින උදාවේ.

අප ජනතාව සිය පව් හා දෝෂ ඉවත් වීම සඳහා අලුත් අවුරුදු දිනයේදී, ඖෂධ වර්ග, මල් වර්ග හා සුවඳ වස්තූන් මිශ්‍රකර හින්දු කෝවිල්වල පූජකවරුන් විසින් සාදනු ලබන ඔසු පැන් හිසේ ගල්වා නා පවිත්‍ර වී අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසී, ලොව පිළිගත් දෙවියෙක් ලෙස සැලකෙන සූර්යයාට නිවෙස්වල පොංගල් පිළියෙල කර පූජා පවත්වයි. ඉන් අනතුරුව, කෝවිල්වලට ගොස් ආගමික වතාවත්වල යෙදී, ගුරු, දෙමව්පියන් සහ වැඩිහිටියන් යන අයගේ ආශිර්වාදය ලබා, රසවර්ග හයකින් යුත් ආහාර අනුභව කර, සතුටින් ගත කිරීම පාරම්පරික සිරිතකි.  එම දිනයේදී එලෙස ක්‍රියා කිරීමෙන් උදා වූ නව වර්ෂය පුරාවට ජනතා සිත් තුළ සතුට හා ප්‍රබෝධය ඇති වෙතැයි බලාපොරොත්තු වෙති.  

ජනතා සිත් තුළ නව අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම නව වසර උදා වීමත් සමඟ සිදුවේ.  එම අපේක්ෂාවන් අතර, ප්‍රධානම වශයෙන් ඔඩු දුවා ඇති ජනවාර්ගික ගැටලුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙම වසර තුළ දී, විසඳුම් ලබා දීමට හැකියාව ලැබිය යුතු බවත්, එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට අවස්ථාවක් කර ගත යුතු බවත්, ඒ තුළින් සත්‍ය සංහිදියාවක් ඇති කිරීමට මඟ පෑදිය යුතු බවත්, මෙම නව වසරේදී දේවාශිර්වාදය පතා අපි ප්‍රාර්ථනා කරමු.  එමෙන්ම දෙමළ ජනතාව දැනට මුහුණපා සිටින දුක, අපේක්ෂා භංගත්වය, හීල්ලීම හා කොන්කිරීම යනාදීයෙන් මිදී   ඔවුන්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන ආකාරයට රජය ක්‍රියාකළ යුතුය යන අපගේ ඉල්ලීම් මේ මොහොතේදී ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

මෙරටේ සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත්, එක්වී  පොදුවේ මෙම සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සතුටට කරුණකි. මෙම නව වසර සිංහල හා දෙමළ ජාතීන් ඉතා සතුටින් ගත කරන ආකාරයටම අනිකුත් සියලුම කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් මෙරට තුළ නිර්මාණය වී ජාතික සංහිදියාව ඇතිවීමට මෙම උදාවූ නව වසරේදී අපි ප්‍රාර්ථනා කරමු.

ඒ අනුව ජාතීන් අතර, සමඟිය, හොඳහිත,  අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී,  සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි  උදා වූ ඒවිලම්බි නව වසරේදී අපි සැවොම ප්‍රාර්ථනා කරමු.  උදා වූ නව වසර වෙනුවෙන් ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවට මම සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි.‘‘