ශ්‍රී ලංකාව පාකිස්ථානයට උදව් කළ 1971 ඉන්දු පාකිස්ථාන යුද්ධය


පස්වැනි ඉන්‍දු - පාකිස්ථාන යුද්ධය ආරම්භ වී දින කීපයකින්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් ඉන්දියාව හා පාකිස්ථානය සටන් විරාමයකට එකඟ විය. යුද්ධය තවත් දිගට ඇදුණේ නම් ආර්ථික වශයෙන් බංකොලොත්ව සිටි පාකිස්ථානයට නැතිවෙන්නට වැඩි දෙයක් තිබුණේ නැත. එහෙත් පාකිස්ථාන ප්‍රහාර හමුවේ ඉන්දියාවේ ආර්ථිකයට විශාල හානියක් වෙන්නට ඉඩ තිබිණ. වේගයෙන් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරමින් සිටි ඉන්දියාව සම්බන්‍ධයෙන් ඇති ආයෝජක විශ්වාසය යුද්ධය සමඟ පලුදු විය. 

පාකිස්ථානයටද මේ යුද්ධය සම්බන්‍ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇත. ඉන්දියාවේ නම් හමුදාවට අණ දෙන්නේ ඉන්දීය අගමැතිය. පාකිස්ථානයේ හමුදාව කටයුතු කරන්නේ තමන්ට අවශ්‍ය ආකාරයටය. මේ නිසා පාකිස්ථාන රජයට පාකිස්ථානය පැත්තෙන් යුද්ධය සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැක. අනෙක් අතට, පාකිස්ථාන හමුදාවට අමතරව එයට අනුයුක්ත වෙනත් සටන් කණ්ඩායම්ද සිටී. එම සටන් කණ්ඩායම් පාකිස්ථාන හමුදාවේ අණ හැමවිටම පිළිපදින්නේද නැත. ඔවුන්ට අවශ්‍ය අවස්ථාවලදී ඔවුහු ස්වාධීන තීරණ ගනිති. මේ නිසා පාකිස්ථානය යුද්ධයට පැටළුණු විට කවුරුන් කුමක් කරාවිදැයි කාටවත් කිව නොහැකිය. 

යුද්ධය ඇරඹුණු පසු ඉන්දියාව බලාපොරොත්තු වූයේ ඇමෙරිකාව තමන්ගේ පැත්ත ගනියි කියාය. යුද්ධයට හේතු වූ පහල්ගම් ප්‍රහාරය සිදුවූයේ ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වාන්ස්ගේ ඉන්දීය සංචාරය අතරතුරදීය. අනෙක් අතට, ඉන්දියාව සහ ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමක් වෙමින් තිබුණ කාලයකය. එහෙත් ඇමෙරිකාව මෙවර යුද්ධයේදී කිසිම පැත්තක් ගත්තේ නැත. පාකිස්ථානය යනු ඇමෙරිකාවේ සාම්ප්‍රදායක මිත්‍රයෙකි. දශක ගණනාවක්ම සෝවියට් දේශය සහ ඇමෙරිකාව අතර තිබූ සීතල යුද්ධයේ ඇමෙරිකාවේ දකුණු ආසියානු කලාපයේ සහායකයා වූයේ පාකිස්ථානයයි. ඇමෙරිකාව හා රුසියාව අද සාම මාවතකට පැමිණ තිබුණත් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය ඇතුළු කරුණු කාරණා ගණනාවක් නිසා ඇමෙරිකාවට අදටත් පාකිස්ථානය අත් හැරිය නොහැකි සගයෙකි.

මෙවර ඉන්දියා පාකිස්ථාන යුද්ධයේදී ප්‍රකට වෙන තවත් කරුණක් වූයේ ඉන්දීය සහ පාකිස්ථාන මාධ්‍ය අතර ඇති වෙනසයි. ඉන්දියානු මාධ්‍ය සමග හැරෙන්නටවත් මෙවර පාකිස්ථාන මාධ්‍ය ආයතනනවලට හැකියාවක් තිබුණේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ බටහිර මාධ්‍ය යුද්ධය වාර්තා කළේ ඉන්දීය වාර්තා පසුබිම් කරගෙනය. පාකිස්ථානය පැත්තෙන් යුද වාර්තා බටහිර මාධ්‍යයට පැමිණියේ ඉතා අඩුවෙනි. මේ හේතුව නිසා සෙසු ලෝකයද බොහෝවිට යුද්ධය දැක්කේ ඉන්දීය ඇසිනි. මෙය පාකිස්ථානයට එක්තරා දුරකට සිදුවූ අසාධාරණයකි.

1947 ඉන්දියාවෙන් පාකිස්ථානය වෙන් කළ අවස්ථාවේ ඇති වූ දරුණු සටන්වලින් පසු 1965, 1971 සහ 1999 ඉන්දියාව සහ පාකිස්ථානය යුද වැදී ඇත. ඉන් 1965 සහ 1999  යුද්ධ දෙකම ආරම්භ වූයේ පාකිස්ථාන සොල්දාදුවන් ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයට ඇතුළුවීම නිසාය. 

1971 ඉන්දු පාකිස්ථාන යුද්ධය ඇතිවූයේ වෙනම හේතුවක් නිසාය. ඒ එවකට පාකිස්ථානයේ කොටසක්ව තිබූ, අද බංගලාදේශයට අයත් භූමිය පාකිස්ථානයෙන් වෙන්කිරීමට බෙංගාලි නිදහස් අරගලකරුවන්ට ඉන්දියාව දුන් සහයෝගය නිසාය. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක  මෙම යුද්ධයේදී මධ්‍යස්ථ ස්ථාවරයක් ගත යුතු යැයි මුලින් තීරණය කර තිබුණත් පසුව ඇය පාකිස්ථානයට යුද්ධයේදී කටුනායක ගුවන් තොටුපළ පාවිච්චි කිරීමට ඉඩ දුන්නාය.

1947 දී බ්‍රිතාන්‍ය රජය ඉන්දියාවෙන් පාකිස්ථානය වෙන්කළේ අද බංගලාදේශය අයත් භූමියද පාකිස්ථානයේ කොටසක් කරමිනි. ඉන්දියාවට බටහිරින් පිහිටි වත්මන් පාකිස්ථානය බටහිර පාකිස්ථානය ලෙසත් ඉන්දියාවට නැගෙනහිරින් පිහිටි වත්මන් බංගලාදේශ භූමිය නැගෙනහිර පාකිස්ථානය ලෙසත් හැඳින්වීමට පටන්ගත්තේය.

කෙසේ වුවත්, දේශසීමා සම්බන්ධයක් නැති මෙම බටහිර, නැගෙනහිර දේශපාලන සැලසුම මුල සිටම අවුල් ජාලයක් විය. බෙංගාලි භාෂාව කතා කරන නැගෙනහිර පාකිස්ථානයේ බෙංගාලි ජනතාවත් උර්දු භාෂාව කතාකරන බටහිර පාකිස්ථාන් ජනතාවත් අතර තිබූ එකම සමානකම ඉස්ලාම් ආගම පමණි. සංස්කෘතිය ඇතුළු අනෙක් හැම අතින්ම ඔවුහු එකිනෙකාට වෙනස් වූහ.

බටහිර හා නැගෙනහිර පාකිස්ථාන භූමි දෙකම පාලනය කළේ බටහිර පාකිස්ථානයේ නායකයෝ සහ එහි හමුදාවය. නැගෙනහිර පාකිස්ථානය දිගින් දිගටම මෙම දේශපාලන සැලසුමට විරුද්ධ සටන් කළේය. තමන්ගේ රට දෙකඩ කළ පාකිස්ථානුවන් පිළිබඳව තරහින් සිටි ඉන්දියානුවෝ බටහිර පාකිස්ථානයට විරුද්ධ නැගෙනහිර පාකිස්ථාන කැරලිවලට නොඅඩුව සහයෝගය ලබා දුන්හ.

බටහිර සහ නැගෙනහිර පාකිස්ථාන භූමි දෙකම ආවරණය වෙන මහ මැතිවරණය පැවැත්වූයේ 1970 දීය. නැගෙනහිර පාකිස්ථානයේ ආසන 162 කුත් බටහිර පාකිස්ථානයේ ආසන 138කුත් ඒ වෙන විට බෙදා වෙන් කර තිබිණ. මීට අමතරව විශේෂ කාන්තා නියෝජන ආසන හතක් නැගෙනහිර පාකිස්ථානයටත් හයක් බටහිර පාකිස්ථානයටත් වෙන් කර තිබුණි. නැගෙනහිර පාකිස්ථානයේ තිබූ ප්‍රධානම පක්‍ෂය වන අවාමි ලීගයේ එවකට නායකත්‍වය දැරුවේ ශෙයික් මුජුබර් රහමන්ය. ඔහු බංගලාදේශයේ හිටපු අගමැතිනි, ෂෙයික් හසීනාගේ පියාය. බටහිර පාකිස්ථානයේ පක්‍ෂ කීපයක්ම තිබුණි. සුල්ෆිකාර් අලි භූතෝගේ නායකත්වයෙන් යුත් 1967දී පිහිටුවූ පාකිස්ථාන ජනතා පක්‍ෂය ඒ අතර ඉදිරියෙන් සිටියේය. 

මහ මැතිවරණයේදී නැගෙනහිර පාකිස්ථානයේ ආසන 162න් 160ක්ම මුජුබර් රහමන්ගේ අවාමි ලීගය දිනාගත්තේය. නැගෙනහිර කාන්තා ආසන හතමත් අවාමි ලීගය හිමිකරගත්තේය. බටහිර පාකිස්ථානයේ ආසන 138න් පාකිස්ථාන ජනතා පක්‍ෂයට හිමිවූයේ ආසන 81ක් පමණි. කාන්තා ආසන හයෙන් පහක් ද ඔවුහු දිනා ගත්හ.

මෙම ප්‍රතිඵලය අනුව, එවකට පාකිස්ථාන ජනාධිපතිව සිටි යහියා ඛාන් කළයුතුව තිබුණේ, පාර්ලිමේන්තුවක් කැඳවා එහි අගමැති ධූරය මුජුබර් රහමන්ට ලබාදීමයි. එහෙත් ජනාධිපතිවරයා මෙන්ම අලි භූතෝ ද අවාමි ලීගයට පාර්ලිමේන්තු බලය දීමට විරුද්ධ විය. ඒ වෙනුවට ඔවුහු නැගෙනහිර පාකිස්ථානයේ සිටි, බටහිර පාකිස්ථානයට හිතවත් දේශපාලනඥයකු වූ, නුරුල් අමීන් අගමැති ලෙස නම් කළහ. අමීන්ව අගමැති කළ ජනාධිපති යහියා ඛාන්, පසුව ජනතා පක්‍ෂ නායක අලි භූතෝට නියෝජ්‍ය අගමැති ධූරය හා විදේශ කටයුතු ඇමති ධූරය බාර දුන්නේය. නැගෙනහිර පාකිස්ථානයේ ජනතාව පාරට බැස්සේ අවාමි ලීගයට සිදුවූ මෙම අසාධාරණයට විරුද්ධවය.

නැගෙනහිර පාකිස්ථානයේ බෙංගාලි දේශප්‍රේමි ව්‍යාපාරය වන ‘මුක්ති බහිනි’ (විමුක්ති පෙරමුණ) බිහිවෙන්නේ මෙම පසුබිම තුළය. ඒ අවාමි ලීගය විසින් නැගෙනහිර පාකිස්ථාන ජනතාවට කරන ලද ඉල්ලීමක් ලෙසය. නිදහස් බංගලාදේශ රාජ්‍ය බිහිකළ මෙම මුක්ති බහිනි සටන් ව්‍යාපාරයට සාමාන්‍ය වැසියන් මෙන්ම බංගලාදේශ නිදහස ඉල්ලා සිටි නොයෙකුත් සටන්කාමී සංවිධානද එක්විය. මුක්ති බහිනි හමුදාවට බටහිර පාකිස්ථානය සමඟ සටන් කිරීමට අවශ්‍ය ආයුධ හා පුහුණුව ලබා දුන්නේ ඉන්දියාවයි. නැගෙනහිර පාකිස්ථානයද බටහිර පාකිස්ථානය මෙන් ඉන්දියාවෙන් බලෙන් වෙන්කළ භූමියක් ලෙස සැලකූ ඉන්දියාව, කෙසේ හෝ තමන්ට පක්‍ෂපාතී රජයක් බංගලාදේශයේ පත්කර බටහිර පාකිස්ථානයේ බලය අඩු කිරීමට මාන බලමින් සිටියේය.

බංගලාදේශ භූමිය උදෙසා පාකිස්ථානය හා ඉන්දියාව මුහුණට මුහුණලා සටන් කළ 1971 යුද්ධයේ අවසාන සටන ඇරඹුවේ දෙසැම්බර් 3වැනිදාය. එය දෙසැම්බර් 16 වැනිදායින් අවසන්වූයේ  නැගෙනහිර පාකිස්ථානය බංගලිදේශය නමින් නිදහස් රාජ්‍යයක් ලෙස බිහිවීමෙනි.

ඉන්දියා - බටහිර පාකිස්ථාන යුද්ධයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ අරාබිකරයේ රටවල් බටහිර පාකිස්ථානයට සහාය දුන් අතර සෝවියට් දේශය සහ ඊශ්‍රායලය ඉන්දියාවට සහ බෙංගාලි සටන්කරුවන්ට සහය පළ කළේය. චීනය බටහිර පාකිස්ථානයට යම් දුරකට සහාය පළ කළත් පාකිස්ථාන හමුදාව නැගෙනහිර පාකිස්ථානයේ සිවිල් වැසියන් මර්දනය කළ ආකාරය හෙළා දැක්කේය. 

ඉන්දියා - බටහිර පාකිස්ථාන් යුද්ධයේදී ඉන්දීය ගුවන් ක්‍ෂේත්‍රය බටහිර පාකිස්ථානයට තහනම් කලාපයක් විය. මේ නිසා බටහිර පාකිස්ථානයේ ප්‍රහාරක යානා සහ මගී ගුවන් යානාවලට නැගෙනහිර පාකිස්ථානයට යාමට තිබූ කෙටිම මග ඇහිරී ගියේය. අනෙක් අතරට නැගෙනහිර පාකිස්ථානයේ යුද්ධයෙන් තුවාලවෙන සොල්දාදුවන්ව ඉක්මනින් බටහිර පාකිස්ථානයට ගෙනඒමේ අවශ්‍යතාවක්ද පැන නැඟුණි. බටහිර පාකිස්ථානයේ යානාවලට කටුනායක ගුවන්තොටුපොළ නැවතුම්පොළක් ලෙස සහ ඉන්ධන සැපයුම්හලක් ලෙස යොදාගැනීමේ ඉල්ලීම බටහිර පාකිස්ථානය  බණ්ඩාරනායක මැතිනියට කළේ මේ හේතුව නිසාය. 

කොතරම් අපකීර්තියට පත්වුවත්, ජනාධිපති යහියා ඛාන් පිහිටවූ රජය ඒ වෙන විට පාකිස්ථානයේ නීත්‍යනුකූල රජය විය. අලි භූතෝ පාකිස්ථානය බෙදීමට ඉන්දියාව කරන උත්සාහය පිළිබඳව ඒ වෙන විට එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්‍ෂක මණ්ඩලය ඉදිරිපිටදීද කතාකර තිබිණි. එසේ බලනවිට පාකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට කරන ලද ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් ලෙස බණ්ඩාරනායක මැතිනියට පෙනෙන්නට ඇත. 

ශ්‍රී ලංකාවේ අගමැතිනිය පාකිස්ථානයේ ඉල්ලීමට ඉඩ දුන්නේ මෙවැනි පසුබිමක් තුළය. 

බණ්ඩාරනායක මැතිනිය විසින් 1971 යුද්ධයේදී බටහිර පාකිස්ථානයට කටුනායක ගුවන් තොටුපොළ පාවිච්චි කිරීමට ඉඩදීම පිළිබඳ ඉන්දීය ජනතාව සිටියේ තරහිනි. එහෙත් ඉන්දිරා ගාන්ධි රජය ඒ පිළිබඳව කිසිම ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටියාය. මෙම සිදුවීමෙන් පසු බණ්ඩාරනායක මැතිනියත් ගාන්ධි අගමැතිනියත් අතර මිත්‍රත්වය බොහෝ සේ පලුදු වෙනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් එය එසේ වූයේද නැත.