ගම්පහ ගල් පල්ලිය දේවස්ථානයේ සීනු නාදයෙන් සංකේතවත් වන්නේ සම්ප්‍රදායෙන් එපිට ගිය වෙනස්ම වූ අරුත්බර ඇරියුමක ප්රතිනාදයකි. සැකෙවින් කිවහොත් ඒ තරුණ තරුණියන්ට “ඇවිත් බලන්න” යනුවෙන් කෙරෙන හෘදයාංගම ආරාධනාවකි. ඒ ඔවුන්ගේ හසුරු කුසලතාවන් හඳුනා ගෙන, ඒවා ඔපමට්ටම් කරගෙන, ශිල්ප කලාවන් හි නිපුණයින් කෙරුම පිණිසය. දේවස්ථානය කෙළවරේ තනා ඇති නිර්මාණ කුටියේ සිටිමින් “සමන්ත තුෂාර පියතුමා” - අජීවී විශාල මැටි ගුළියකට සජීවී බව වඩමවමින් සිටී. එහිදී උන්වහන්සේගේ දෑතින් කලඑළි වන්නේ කලා කෘති පමණක් නොව, දැයේ තරුණ තරුණියන් ගේ ජීවිතයි.
පියතුමා දවස ආරම්භ කරන්නේ - ශුද්ධ වූ දිව්‍ය යාගයෙන් සහ නිරන්තර යාච්ඤාවෙනි. ජීවිතයේ විවිධ හැල හැප්පීම් තුළ දිවි ගෙවන තරුණ තරුණියන් පියතුමාගේ දෑත දෙස බලා සිටින්නේ - අලුත් යමක් ඥානනය කරගනු අටියෙන් නිරන්තර විමර්ශනාක්ෂියෙනි. තරුණ තරුණියන් අතර සිටින්නේ කතෝලික අය පමණක් නොවේ.
ජාති, ආගම් වාරණයක් එතැන නැත.
“මේ අප්‍රතිහත උත්සාහය පිළිම මුර්ති නිර්මාණය කිරීම සඳහා පමණක් නොවේ”
සමන්ත පියතුමා තරුණයින් අතර ඔවුන්ගේ කෙනෙකු වී ඇඟිලිවලින් මැටි පිස දමමින් පවසයි.
“අපගේ ඒකායන වෑයම - කටුක ජීවිත ඔප දමා මුර්ති කිරීමයි”
පසුගිය වසර දහය තුළ උන්වහන්සේ ශ්‍රී ලංකාව පුරා ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා සහ බිතුසිතුවම් 150 කට වඩා වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතර, 200 කට වැඩි තරුණ තරුණියන් පිරිසකට මේ මාර්ගයේ ගමන් කිරීමට අතහිත දී ඇත.
පියතුමාගේ නිමැවුම් අතරින් කිහිපයක් පමණක් නොව බොහෝ කලා කෘති කතා බහට සහ ආදරයට ලක්වී ඇත. උන්වහන්සේ ගේ සුසංහිත දෑතින් නිර්මිත සුවිශේෂී නිර්මාණයක් වශයෙන් - බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ ස්ථාපිත, “සාන්තුවරයන්ගේ ජීවිත ප්‍රතිමා 25ක ගෙන් සමන්විත වූ නිර්මාණය” පෙන්වා දිය හැක. විවිධ කෝණයන් ගෙන් බලන විට විවිධ චෛතසිකත්ව නිමැවෙන අයුරින් කර ඇති එම අපූරු නිමැවුම - මිනිස් සිතිවිලි වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ලක්ෂගත කරවීමට දරණ ලද වෑයමක් ලෙස දැක්විය හැකිය.
උදාහරණයක් වශයෙන් එහි විශිෂ්ඨම නිර්මාණ වලින් එකක් නම් ශුද්ධ වූ පේදුරුතුමා ගේ ප්‍රතිමාවය.
මෙය සම්ප්‍රදායික ප්‍රතිමාවලින් වෙන්වී, කුරුසියේ පහළට ඔහුගේ හිස හැරවෙන ආකාරයෙන් නිරූපණය කර ඇත්තේ - දුක සහ දයාව, ආදරය සහ විරාමය එකම රාමුවක් තුළ රඳවා තබා ගනිමිනි. මෙවැනි නිර්මාණ අංකුර නිර්මාණකරුවන්ට පමණක් නොව, සෑම නරඹන්නෙකු තුළම ස්වයං අභ්‍යන්තර සංවාදයක් ජනිත කරවයි.
එමෙන්ම ඒ ආකාරයේම වෙනස් නිර්මාණ ලෙස - දේවස්ථාන හයකට පමණ ඉදිකරවා දී ඇති ශුද්ධ වූ අල්තාර හය ද අදාල ක්ෂේත්රයේ විද්‍යාර්ථීන්ට අසමසම අධ්‍යයන කෙම් බිමක් වෙනු ඇත.
2022 වසරේ දූව ග්‍රාමයේ ඓතිහාසික පාස්කු රංගනය වෙනුවෙන් භාවිත කරන 1838 දී පමණ ඉන්දියාවේ කෝචීන් නගරයෙන් ගෙන්වන ලද ක්‍රිස්තු ප්‍රතිමාව එහි මුල් හැඩතලය හා ජීවමාන පෙනුමට කිසිදු හානියක් සිදු නොවන අයුරින් නිවැරදිව තීන්ත ගල්වා ආලේපනය කරන ලදී. එය සිත් ඇදගන්නාසුලු මෙහෙවරක් විය.
එමෙන්ම එම වසර තුළදීම වසර 400 කට වඩා ඉපැරණි තලවිල ශුද්ධ වූ ශාන්ත ආනා සිද්ධස්ථානයේ අවසන් ආශිර්වාදය සඳහා යොදා ගනු ලබන ප්‍රතිමාව ඉතාමත් අලංකාර ලෙස ඒ තිබු ආකාරයෙන්ම තීන්ත ආලේපනය කර නිම කරන ලදී.
එපමණක් නොව වසර සියයකටත් වඩා පැරණි පිටිපන දේවස්ථානයේ සුදු කිරිගරුඬ අල්තාරය 1914 දී යුරෝපයේ ප්‍රංශ ජාතික පියතුමන් විසින් මෙරටට ගෙන්වන ලද දුර්ලභ ගනයේ අල්තාරයකි. මෙම අල්තාරයට විධිමත් හා කඩිනම් ප්රතිසංස්කරණයක් අවශ්‍ය විය. ලංකාවේ ඉංජිනේරුවෝ මෙම අභියෝගයක් ලෙස හැඳින්වූහ. ඔවුන් පැවසුවේ මෙවැනි සංකීර්ණ වස්තුවක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා මෙරට තාක්ෂණික හැකියාව ප්‍රමාණවත් නොවන බවත්, එය සිදුකිරීම සඳහා විදේශීය සහය ලබාගත යුතු බවත්ය. නමුත් පියතුමා ඒ අභියෝගය මුළුමනින්ම භාරගෙන කිසිදු විදේශීය උපදේශකත්වයකින් තොරව - නිවැරදිව, විධිමත්ව හා සුක්ෂමව එම අලංකාර අල්තාරය දර්ශනීය අයුරින් ප්‍රතිනිර්මාණය කරනු ලැබීය. වසර සියයකට වැඩි ඉතිහාසයක් ඇති මෙය ඒ පැරණි අභිමානවත් හැඩතලයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම - පියතුමා සතු විශිෂ්ට නිර්මාණ හැකියාව පිළිබිඹු කරන්නකි.
පියතුමා අතින් බිහිවූ බොහොමයක් මනරම් නිර්මාණ - සීදුව ශාන්ත සිසිලියා දේවස්ථානයේ, මොරටුවේ ශාන්ත සෙබස්තියන් දෙවස්ථානයේ, ගම්පහ සිරිකුරුස විදුහලේ සහ ….... න්ැඑඅසබට ්හමරඩැා් ඡ්ඩසකසදබි ….. හෝටලය තුළත්, …. ඔරසකකසමප ඊදමඑසුමැ ක්‍සඑහ ... හෝටල් පරිශ්‍රය තුළත්, තවත් පෞද්ගලික ආයතන කිහිපයකත් දක්නට ලැබෙයි.
පියතුමාගේ නිර්මාණයන් තුළින් ආගමික සහජීවනය ඔප් නැංවීම වඩාත් කැපී පෙනෙනුයේ එතුමන් විසින් නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමාවක් නාරම්මල පුන්යවර්ධන පන්සලේ දී අදත් දක්නට ලැබීමයි.
එතැනින් නොනැවතුණු පියතුමාණෝ මුහුදෙන් වටවූ කල්පිටිය ධීවර ගම්මානයේ තෝරාගත් දුප්පත් කාන්තාවන් තිස් දෙනෙකු ආර්ථික බලගතුකරණය කළහ. වේලක්කන්ති අප ස්වාමිදූගේ දේවස්ථානයේ කාන්තාවන් 30 දෙනකුට පියතුමාණෝ ප්‍රතිමා නිර්මාණය, ඉටිපන්දම් සැදීම සහ ජපමාල සකස් කිරීම උගන්වමින් ඔවුන්ට ආර්ථීක වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද සවියක් සලසා දුන්හ.
කාර්ය බහුල දිවි පෙවෙතක් ගත කළ ද මීසමේ එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු නොපිරිහෙළා ඉටු කිරීමට ද පියතුමා වගබලා ගත්හ.
“කලාව යනු අාධ්‍යාත්මික හා සමාජීය පරිවර්තනයක්. කලක් හුදකලාවේ ආර්ථික අර්බුදයට සටන් කළ කාන්තාවන් දැන් හදවතින් සහ දෑතින් අපුරු නිමැවුම් කරනවා”
පියතුමා එසේ පැවසුවේ හද පිනා ගිය සතුටකිනි.
පියතුමා අතීතය ආවර්ජනය කරමින් පැවසූයේ “අපේ ගමේ හිටපු ඉග්නේෂස් මාමා රබර් අච්චු භාවිතයෙන් නිවාසවල ගවලෙන, සුරුවම් සෑදු අතර, ඔහු මා එන බව දුටු සෑම විටම එම නිර්මාණ ඉක්මනින් පොලිතින් කවර වලින් ආවරණය කළා.”
මේ අතීත මතක සටහන් ආවර්ජනය කරමින් නිහතමානී සිනහවකින් මුව සරසාගෙන “පුද්ගල හැකියාවන් පුද්ගලයාට නොව සමාජයට” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
1972 වසරේදී මග්ගොන උපත ලද පියතුමා 2000 වසරේදී පූජක දිවියට ඇතුළු විය. මුර්ති ශිල්පය කෙරෙහි දැඩි ආශාවකින් පසු වූ පියතුමා පසුව Vibhavi Academy යටත්, පසුව Colombo Academy of Art සහ පසුව ඉතාලියේ කීර්තිමත් Sacred Art School of Firenze හී ඇතුළත් වී එහිදී ඩිප්ලෝමා පාඨමාලාවක් ද පසුව Accademia di Belle Arti in Florence හි දී ශාස්ත්‍රපති උපාධිය ද සම්පූර්ණ කරගත්හ.
මහාචාර්ය සරත් චන්ද්‍රජීව පැවසුවේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන කතෝලික මූර්ති හා අනෙකුත් නිර්මාණයන් ෆයිබග්ලාස් බවට පත් කර ඇති නමුත්, සමන්ත පියතුමාගේ ආගමනය හා මැදිහත්වීම එම දේවස්ථානවල නිර්මාණයන් නැවත යථා තත්ත්වයන්ට ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ගනු ලබන ප්රයත්නය ඇගයුමට හා ප්‍රශංසාවට ලක් කළ යුතු බවයි.
“විදේශීය විශ්වවිද්‍යාලවලින් උන්වහන්සේ ලබාගත් දැනුම් සම්භාරය සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ කතෝලික කලා සම්ප්රදායේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමට අඩිතාලම දමා ඇති බව පැහැදිලියි.”
මහාචාර්ය චන්ද්‍රජීව තවදුරටත් පැවසීය.
ලංකාවේ කතෝලික සහා ඉතිහාසයේ සමන්ත පියතුමාගේ දායකත්වය අලුත් පිටුවක් පෙරළුෑ වග සටහන් කළ හැකිය. ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස විවිධ අර්බුදයන් හට මුහුණ දුන් විවිධ අවස්ථාවන් හීදී කිතුනුවන්ගේ මැදිහත්වීම හා දායකත්වය විදහා දක්වන තේවත්ත බැසිලිකාවේ ලෝකඩ කැටයම් 45 හේ අතීත ආවර්ජනා එකතුවක් මෙන්ම - කාදිනල් තෝමස් කුරේ හිමිපාණන්ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාව ද එතුමාගේ දායකත්වයෙන් සභා මාතාවට දායාද වූවක් වෙති. මෙහිදී ශ්‍රී ලාංකික කිතුනු සමාජය විසින් අතීතයේ විවිධ සමාජීය, ආගමික සහ ජාතික අර්බුදවලදී දැක්වූ මැදිහත්වීම කැටයම් ආකාරයෙන් නිර්මාණය කර ඇත. මෙම ව්‍යාපෘති දෙකම ශ්‍රී ලංකාවේ කලා ලෝකයේ විශිෂ්ටතම නාමයන් වන ආචාර්ය සරත් චන්ද්‍රජීව සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගේ මගපෙන්වීම සහ පූර්ණ සහයෝගය යටතේ සාර්ථකව නිම කෙරුණි.
පියතුමාගේ නිර්මාණශීලිත්වය ආගමික වටපිටාවට එහා ගොස් ලොව දාර්ශනිකයන්, චින්තකයන් සහ විප්ලවවාදීන් මෙන්ම කතුවරුන් ගේ ද චරිත නිර්මාණය කර ඇත. ඒ අතර ඇරිස්ටෝටල්, චේගුවේරා සහ විලියම් ශේක්ස්පියර් වැනි විද්වත් චරිත වෙයි.
සමන්ත පියතුමා ඔහුගේ ගල් පල්ලිය වැඩ මුලුවේ තරුණ කලාකරුවෙකුට උපදෙස් දෙමින්
සෑම මුර්තියක්ම උපහාරයකට වඩා වැඩි දෙයක්. පියතුමා මේ නිර්මාණ තුළින් ම දාර්ශනිකයන් ගේ විචාරශීලීත්වය, දර්ශනය, ශ්‍රේෂ්ඨත්වය හා ඔවුන් සමාජය වඩා යහපත් තැනක් කිරීමට දරණ ලද ඔවුන්ගේ උත්සාහයන් පිළිබඳව සංවාද කිරීමට එය නරඹන සියලු දෙනාට ආරාධනාවක් කරයි.
අප පියතුමාගේ සිසුන් බොහෝ දෙනෙක් දැන් තමන්ගේම අතින් නිර්මාණ නිම කරන කලාකරුවන් බවට පත්වී ඇත. හල්පේ ජීවත්වන 29 හැවිරිදි සිඟිති හෂරිකා මුර්ති වැඩ පලක් පවත්වා ගෙනයන අතර, මෑතකදී තොප්පුවේ ශාන්ත පිලිප් නේරු දේවස්ථානයේ පාද නමස්කාර ස්ථාන 14 ම විචිත්‍රවත් ලෙස තීන්ත ආලේපනය කරන ලදී. “මට මේ දිනවල ඒ තරමටම ඇණවුම් ලැබිලා තිබෙනවා. ඒ නිසා මම අලුත් දේවල් මේ දිනවල භාර ගන්නේ නැහැ” ඈ එසේ පවසන්නේ ඉමහත් ආඩම්බරයෙනි.
ගම්පහ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කලාකරුවෙකු වන දේසිරි මනතුංග - පියතුමාගේ නිහතමානි ජීවිත පැවැත්ම ගැන සහ ඔහුගේ ජීවිතය වෙනස් කළ ආකාරය ගැන කතා කළේ ඉමහත් ප්‍රශංසාවෙන් සහ ආඩම්බරයෙනි.
“පියතුමා සිතන ආකාරය යමක් දිහා බලන ආකාරය හරිම වෙනස්. ඒ දේවල තිබෙන්නේ විශාල අර්ථයන්, ඒ වගේම පියතුමා නිර්මාණයක් කරන්නට කලියෙන් ඒ පිළිබඳව හරියටම අධ්‍යයනය කරමින්, ඒ පිළිබඳව සොයා ගෙන යන්නේ හරියට විද්‍යාඥයෙක් වගේ. ඒ වගේම ඒ හැම නිර්මාණයක් පිළිබඳවම වෙනස්ම වූ කතාවක් තිබෙනවා” මනතුංග පැවසීය.
පියතුමා හා ඔහුගේ කණ්ඩායම සමග එක්වී “අසම්මතය” නමින් ප්‍රදර්ශනයක් මැයි මස 18 සහ 19 යන දිනයන් හි දී ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වුණි. අාධ්යාත්මිකත්වය, යුක්තිය සහ මානව ගරුත්වය යන තේමාවන් සොයා යන පියතුමාගේ සිසුන් ගේ කෘති එම ප්‍රදර්ශනය සඳහා ඇතුළත් විය.
“කලාකරුවෙක් අපි හැම කෙනෙකු තුළම ජීවත් වෙනවා” පියතුමා මැටියෙන් හැඩගැසෙන මුහුණක් දෙස බලමින් පවසති. “සැබෑ කලාකරුවා යනු මිනිසුන්ගේ ජීවිතය සම්පූර්ණත්වයට ගෙන යාම සඳහා පාලමක් හදන්නෙක්”
කුයින්ටස් කොළඹගේ