‘සුදු මුතු රළ පෙළ’ ගී තනු මැවූ නුවරඑළියේ ගණන්කාරයා රෝහණ වීරසිංහ


සත්සර

 

වසර 1973ය. රජයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට නවක සිසුවෙක් ඇතුළු විය. විද්‍යාලයට ආ මුල් දිනය නිසා නවක වදය දේවි දෝ යන දෙගිඩියාවක් ඔහු තුළ ඇති වී තිබුණි. ඒ නිසා ඔහු විද්‍යාලයට ගියේ නියමිත වේලාවටත් කලින්ය. 


‘මොකද මල්ලී අද වේලාසනම කුකුලත් අතින් අරගෙන’ 


ඒ ජ්‍යෙෂ්‍ඨ ශිෂ්‍යයාගේ ගැඹුරු කට හඬය. 


අලුත් ශිෂ්‍යයාගේ උගුර කට වියලී කතා කර ගැනීමට පවා අපහසු විය. කුමක් හෝ සිදු වීමක් අත ළඟ වන බව ඔහු ඉවෙන් මෙන් දැන සිටියේය. 
‘මම නවක ශිෂ්‍යයෙක්.’ 


‘ආ එහෙමද? එහෙම නං ඔය පොත් ටිකත් ඔළුව උඩ තියාගෙන අව්වට වෙලා ඉන්නවා. තව වේලාව තියෙනවනෙ.’ 
නවකවදය ගැන නරකම අසා තිබූ නවක සිසුවාගේ සිතේ ඇඳී තිබුණේ වෙනමම චිත්‍රයකි. එහෙත් ජ්‍යෙෂ්‍ඨ ශිෂ්‍යයා කොතරම් සාධාරණ දඬුවමක් තමාට දුන්නේ දැයි අලුත් සිසුවා හිත හදා ගත්තේය. 


​‘හොඳයි දැන් යනවා කාර්යාලයට’ ජ්‍යෙෂ්‍ඨ සිසුවාගෙන් විධානයක් ලැබිණ. 


මද සිනාවක් මුවට නගාගත් නවක සිසුවා හිස පහත් කරගෙන ඉදිරියට ගියේය. 
එදා නවක සිසුවාට නවක වදය දුන් ජ්‍යෙෂ්‍ඨ සිසුවා ශිෂ්‍ය සංගමයේ සභාපතිය. ඔහු නමින් රෝහණ වීරසිංහය. නවක ශිෂ්‍යයා එඩ්වඩ් ජයකොඩි ය. 
එඩ්වඩ් අදත් කියන්නේ තමාගේ සංගීත දිවිය පුරාත් ඉන් බාහිර ලෝක පුරාත්, කටපුරා සහෝදරයෙක් කියලා කියන්න පුළුවන් ​හොඳම මිත්‍රයෙක් රෝහණ කියලා. 
රෝහණ වීරසිංහ හඳුන්වා දෙන්නට උත්සාහ කිරීම කිරෙහි සුදු පැහැය වැනීමකි. මේ සම්මානනීය සංගීතවේදියා තනු රචනයෙන් සංගීත සංයෝජනයෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් කළ දුලබ ප්‍රතිභවය, ගැන සලකා මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසා තිබුණේ රෝහණ ගී තනු උල්පතක් බවය. 
රෝහණ පාසල් යන කාලයේ සිටම චණ්ඩියෙක් බව ඔහුගේ සමකාලීන මිතුරන් කියා ඇත. යුක්තිය අසාධාරණය වෙනුවෙන් හැම විටම ඉදිරියට ගිය මේ ශිෂ්‍යයා විද්‍යාලයේ ක්‍රීඩා අංශයෙන් දස්කම් පා ඇති බව පැවසේ. 


මීට වසර 70 වකට පෙර එනම් 1949 ජනවාරි 18 වෙනිදා නුවරඑළියේ (එකල බ්ලැක් පූල්) අද රුවන්එළියේ දී උපත ලැබූ කොක්මාදුගොඩගේ රෝහණ චිත්‍ර කුමාර වීරසිංහගේ පියා වු හෙන්රි වීරසිංහ ගම්මුලාදෑනියෙකි. ඔහු මාතර ඇල්ගිරියේ උපන්නෙකි. කොත්මලේ උපන් කුලසේකරගේ සෙෆාලින් රෝහණගේ මව වුවාය. නව දෙනෙකුගෙන් යුත් පවුලක රෝහණ නව වැනියාය. බඩ පිස්සාය. මව රෝහණට කතා කර ඇත්තේ ‘දෝසිය’ කියා බව පැවසේ. 


රෝහණ මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ නුවරඑළියේ යහපත් එඬේරාගේ පවුලේ කන්‍යාරාමයෙනි. කන්‍යාරාමයේ දී එහි සිටි මුල් ගුරුතුමිය රෝහණට මතකය. ඒ සුජාතා විජේසිංහ ගුරු මෑණියෝ ඔහුට රසවත් කතා ගී සින්දු ඉගෙන්නුවාය. ඒ ගුරුතුමිය දක්ෂ රංගවේදී ප්‍රවීණ අංගම් පොර නළුවෙකු වු සේනක විජේසිංහගේ මවය. කාලයකට පසු රෝහණ රුවන්එළියේ විද්‍යාචක්‍ර බෞද්ධ පාසලට ද පසුව ශිෂ්‍යත්වයක් ලබා වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලටය ද ඇතුළත්ව ඇත. වැලිමඩ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ පාසලේ ගණන් කාරයා (චණ්ඩියා) වු ඔහු මලල ක්‍රීඩාවල දී ක්‍රීඩා කෞශල්‍යය පෙන්වා ඇත. 


වැලිමඩ පාසලට එන නවක සිසුන්ට පුංචි පුංචි දඬුවම් දීමට රෝහණ පෙරමුණ ගෙන ඇත. ඒ කාලයේ ඔහු විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු ද වීලු. දිනක් ප්‍රමාණයෙන් පුංචි මුස්ලිම් ජාතික සිසුවෙකු රෝහණ සිටි පන්තියට ආවේය. අනික් නවක සිසුන්ට මෙන්ම ඔහුට රෝහණ නියම කළේ කොස්සක් ගෙන මාච් කිරීමටය. පසුව මේ පුංචි මිත්‍රයා රෝහණ​​ගේ හිතවතා විය. පන්තියේ ඉගෙනීමට දක්ෂ මුස්ලිම් සිසුවා මුළු පාසලේම සිංහල, දෙමළ හා සිංහල භාෂාවලින් ඉහළම ලකුණු ගත් විට රෝහණ ඔහු හැම අතකින් රැකවරණය දී ඉගෙනීමට හැම සහායක්ම දුන්නේය. මේ සිසුවා අද මාධ්‍ය ලෝකයේ භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රවීණතා දක්වන ජ්‍යෙෂ්‍ඨ මාධ්‍යවේදී එ්.එස්.එම්. අයුබ්ය. ඔහු Daily Mirror පුවත්පතේ ප්‍රවෘත්ති උපදේශකයෙකි. 


වරක් අයුබ් මට රෝහණගේ පාසල් ජීවිතය ගැන අපූරු කතාවක් කීවේය. 


මට එතකොට වයස අවුරුදු 12ක් විතර ඇති. මම වැලිමඩ විද්‍යාලයට ඇතුළත් වූ මුල්ම දවස. අපේ පාසලේ ශිෂ්‍ය නායකයාගේ නම ආර්.සී. වීරසිංහ. ඔහු අපූරු ශිෂ්‍යයෙක්. එක්තරා ආකාරයකට චණ්ඩියෙක්. කාටවත් බය නැහැ. පාසලේ ළමුන්ට නායකත්වය දෙන්න සූරයා. නවක ශිෂ්‍යයන්ට නවක වදය දෙන්නේ අහිංසක විදහට. අපි හොස්ටල් එකෙන් එකට හිටියෙ. හොස්ටල් එකේ 70 ක් විතර ශිෂ්‍යයෝ හිටියා. රෝහණට ලස්සනට සින්දු කියන්න පුළුවන්. අපි රෝහණව වට කර ගෙන සින්දු අහනවා. ඔහු සින්දු කියන්නේ වාද්‍ය භාණ්ඩ කිහිපයක් වටේ තියාගෙන. ඒවා ඇත්ත වාද්‍ය භාණ්ඩ නොවෙයි. 


රෝහණ වරෙක ටිං බෙලෙක්කයකටත් තවත් වරෙක කොක්ක ගැලවෙච්ච බාල්දියකටත් තවත් වරෙක මේසයටත් තාලයකට තට්ටු කරමින් සින්දු කියනවා. අපි ඔහු වටේ ඉඳන් අවශ්‍ය තැන්වල දී අත්වැල් ගායනයට එකතු වෙනවා. රෝහණ එදා කිව්ව ගීත අතර වික්ටර් රත්නායක නම් නැගී එන ගායකයාගේ සිහිල් සුළං රැල්ලේ, සෝක සැනසුම් වේදනාවන් වගේම ඒ කාලේ තිරගත වූ හඳපාන චිත්‍රපටයේ සිසිර සේනාරත්න ගැයූ ගීත අමරදේවයන් ගැයූ සුදෝ සුදු චිත්‍රපටයේ ගීත වි​ශේෂයි. ඇත්තම කියනවා නම් මට ඉගෙන ගන්න ධෛර්යය ලැබුණේ රෝහණගෙන්. 


රෝහණ පාපන්දු ක්‍රීඩාවට සූරයා. මමත් ඔහු සමග පුට් බෝල් ගහල තියෙනවා. ඔහු සංගීතයට ගායනයට දක්ෂයකු බව දැන උදව් කළේ අපේ සංගීත මාස්ටර් කේ.වී.එස්. පෙරේරා මහතා. පස්සේ කාලයක සංගීත ලෝකයේ පෙරළියක් කළේ අපේ ආදරණීය වීරසිංහනේ කියලා මට සතුටක් ඇති වුණා. මොකද රෝහණ නම අපි දන්නේ නෑ. අපි දැන හිටියේ වීරසිංහ කියලා. ඩී.ආර්.සි. වීරසිංහ. අපේ වීරේ කියලා. අයුබ් කීය. 
රෝහණ වීරසිංහ වරක් තමා සංගීතයට යොමු වීමට බල පෑ හැටි අපට විස්තර කළේය. රෝහණ යමක් විස්තර කරන හැටි බලා ඉන්න ආසාය. ඔහුගේ ගී තනුවක් වගේ රහය. අදටත් රෝහණ වටා කිකිළි වටේ කුකුළු පැටව් වගේ නිරතුරු දැවටෙන මිතුරු කැල (ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, කුලරත්න ආරියවංශ, සුනිල් එදිරිසිංහ, කුමාරදාස සපුතන්ත්‍රී, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර යන මේ පිරිසය.) 


රෝහණගේ පියා ද සංගීත රසිකයෙකි. ගෙදර තිබූ ෆුට් බෙලෝ සර්පිනාව තාත්තා ධර්මේ නම් කෙනෙකුට විකුණා තිබුණි. 


ධර්මේ තවත් සගයන් කිහිප දෙනෙකු සමග ගෙදර ඇවිත් පුංචි සාජ්ජයක් දාන කොට මගේ හිත ගියේ සර්පිනාවේ රීඩ් එහා මෙහා යන හැටි බලා සිටීමය. මට අද වගේ මතකයි අපේ ගමට ඉස්සෙල්ලාම රේඩියෝ එකක් ගෙනත් තියෙන්නේ තාත්තා. පිංකම් කාලෙට සින්දු වාදනය කරමින් ලව්ඩ්ස් පීකරයක් බැඳ ගෙන වෑන් එකක් ගම පුරා යනවා. මම ඒ සින්දු අහන්න වෑන් එක පිටු පස දුවනවා. විශේෂ අවස්ථා වල මයික්‍රෙෆෝනය ළඟට යන්න මට අවස්ථාව ලැබෙනවා. මම එතකොට දන්න සිදුවක් දෙකක් කියන්න මගේ ජිවිතයේ වීරයා වුණේ තාත්තා. තාත්තා පරමාදර්ශ චරිතයක්. ඒ වගේම තාත්තා අසාධාරණයට විරුද්ධ කටයුතු කළ කෙනෙක්. තාත්තාගේ අභාසය නිසා මගේ එක අයියා කෙනෙක් වෘත්තිය සමිති නායකයෙක් වුණා.


රෝහණ අපට අතීත සිද්ධියක් සිහිපත් කළේය. රෝහණගේ පියා ටවුමට ගිය වෙලාවක. අයිරාංගනී චිත්‍රපටයේ සින්දු පොත ගෙදර ගෙනාවේය. එහි මුල් පිටුවේ හිටියේ රුක්මණී දේවිය. ස්ටැන්ලි පෙරේරා කියලා. රෝහණ දැන ගත්තේ වැඩි මහල් අයියා කෙනෙක් කී නිසාය. ඒ කාලේ අයිරාංගනී චිත්‍රපටයේ ග්‍රැමෆෝන් තැටි අසා තිබූ නිසා එහි තිබූ රාණියේ එන්කෝ නැගීම පෙම් තරු පායන ආකාසේ වගේ ගීත රෝහණ ගෙදර දී ඒ ගීත ගැයුවේ. මෙය අසා සිටි තාත්තා දවසක් පවුලේ නම දෙනාම කෑලෑ හඳ චිත්‍රපටය බලන්න ටවුමේ සිනමා හලට එක්ක ගියේය. ඒ කාලේ සිංහල චිත්‍රපටයක් පිට පළාත්වල සිනමා හලකට එන්නේ වසර පහක් පමණ පසුවලු. ගෙදර ඇවිත් අයියලා හය දෙනෙයි අක්කලා දෙන්නයි එක්ක පුංචි රෝහණත් මහ හයියෙන් අන්න සුදෝ අර පාට වලා.... ගීතය ගැයූහ. 


මගේ සංගීත රුචිය දියුණු කළේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුතුමා කේ.පී.එස්. පෙරේරා මහතා. එතුමාගේ සංගීත කාමරයේ දොර මට විවෘත කර දුන්නා. සංගීත කාමරය මට විශ්වවිද්‍යාලයක් වුණා. සිතාරය, ජල තරංගය, වයලීනය, මැන්ඩලීනය යන සංගීත භාණ්ඩ වාදනය කිරීමට මේ ගුරුතුමා ගුරු මුෂ්ටියෙන් තොරව ශිල්ප ශාස්ත්‍රය මට දුන්නා. 1963 වසරේ කොළඹ ලුම්බිණි විද්‍යාලයීය රඟහලේ පැවැත්වූ සමස්ත ලංකා ඒකල ගී තරගයෙන් මට මුල් තැන ලැබුණා. දෙවෙනි තැන හිමි වුණේ අද අති දක්ෂ වයලීන වාදන ශිල්පී ප්‍රවිණ සංගීතඥ ඩී.ඩී. ගුණසේනට යැයි කියන රෝහණ තම කලා රසඥතාව වැඩි දියුණු කළේ ගමට පත් වී ආ වජිර රණවීර බණ්ඩාර ගුරු මහතා බවද පැවසීය. 
එකල නුවරඑළියේ බ්ලැක් පූල් හි සින්දු කියන ගෙදර ලෙස ප්‍රකටව තිබුණේ රෝහණගේ ගෙදරලු. 


බණ්ඩාර ගුරුතුමා හා රෝහණ තම අයියලා වූ රාජා, සනත්, ඩඩ්ලි, ජයන්ත සමග ගමටම ඇහෙන්න ගී ගයා අැත. 
අවසන් වරට රෝහණ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට ඇතුළත්ව ඇත. උසස් පෙළට පෙනී සිට ගමට ගිය රෝහණට කිත්සිරි අලුත්ගේ නම් සංගීත ගුරුවරයා හමු වී ඇත. රෝහණ ලස්සනට මැන්ඩලීනය වාදනය කරනු දුටු මේ ගුරුවරයා ඔහු තමා උගන්වන නුවරඑළියේ ගාමිණී විද්‍යාලයට බඳවා ගත්තේය. මේ ගුරුවරයාගේ මඟපෙන්වීම පසු කාලෙක රෝහණ රජයේ සංගීත විද්‍යාලටය ඇතුළත් විය. 


රෝහණට මුල් පාඩම උගන්වා ඇත්තේ එස්.ඩී.එස්. ජයසේකර මහතාය. විශාරද කේ.ඒ. දයාරත්නගේ සිතාර් වාදනය ඉගෙන ගත් රෝහණ විදුහල්පති ලයනල් එදිරිසිංහ, සනත් නන්දසිරි, පී.වී. නන්දසිරි, අමරා රණතුංග, ටයිටස් නෝනිස්, කුසුමා පෙරේරා, හෙක්ටර් සොයියා, අයිවෝ ඩෙනිස්, ඩී.ආර්. පීරිස් වැනි විශාරද ගුරුවරුන්ගෙන් සංගීතය ඉගෙන ගෙන ඇත. 


සංගීත විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති රෝහණ වූ අතර ලක්ෂ්මන් විජේසේකර ලේකම් විය. මාලිනි බුලත්සිංහල, ආනන්ද වීරසිරි, සුනිල් දයානන්ද කෝනාර, සේන වීරසේකර, විජේරත්න රණතුංග, අමරසිරි පීරිස්, බන්දුල විජේසිරි පන්ති සගයෝ වූහ. 


​රෝහණට අනාගත සහකාරිය හමුවන්නේ සංගීත විද්‍යාලයේදීය. එහි නැටුම් අංශයේ ඇය ඉගෙනුම ලබමින් සිටි අතර ඇය තම නර්තන අංශයේ සමකාලීන මිතුරු මිතුරියන් සමග සංගීත අංශයේ පොදු වැඩවලට සහයා දුන්නාය. මේ පිරිසට බියට්‍රිස් නම් ඇය සමග තමරා සමරකෝන් (පසුව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ බිරිය) ආරියරත්න කළුආරච්චි (පසුව මහාචාර්ය, උපකුලපති) රැජින සෙල්වනායගම්, පියසාර ශිල්පාධිපති ආදීහු ඇතුළත් වූහ. 
රෝහණ බටපොළ ආරච්චිගේ ලීලා බියට්‍රිස් ද සිල්ව මීට ඉහත දැක තිබුණත් කතා කර නොතිබුණි. මුලින්ම ඔහුට ඇය හා සිනහසීමට අවස්ථාවක් ලැබී ඇත්තේ එක්තරා සාදයකදීය. එදා සිදු වූ අසිරිමත් සිදුවීම රෝහණ මතක් කළේ මෙසේය. 


මුල්වරට බියට්‍රිස්ව හමුවුණේ පොඩි සාදයකදීය. ඒ සාදයේ දී ඇයත් ඇගේ මිත්‍ර ශිෂ්‍යාවනුත් අපට තල ගුලි දුන්නා මතකයි. පසු දවසක අපි ශිෂ්‍ය සංගමයෙන් ශ්‍රමදානයක් සංවිධානය කළා. එදත් ඇය ඇවිත් හිටියා. එදා උදැල්ලකට මගේ කුකුල කැපිලා ලේ ගලන්නට පටන් ගත්තා. ඒක දැකපු ඇය මට ඇගේ ලේන්සුව දුන්නා තුවාලේ බැඳ ගන්න. මගේ සිතේ ඇය පිළිබඳ සිතක් ඇති වුණා. මගේ අදහස කියලා මගේ මිත්‍ර ලෙස්ලි විජේවික්‍රම අතේ ලිපියක් යැව්වා. එයට ඇගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. 
රෝහණ හා බියට්‍රිස් අතර නොසිතූ විරූ අසිරිමත් සිද්ධියක් සිදු වූයේ 1973 වසරේදීය. 


ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් නිෂ්පාදනය කළා සිද්ධාර්ථ ගීත නාටකයක්. මේ නාට්‍යයේ රචනය හා ගීත ප්‍රබන්ධ කරලා තිබුණේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ බිරිය කුසුම් දිසානායක මහත්මිය. සිද්ධාර්ථගේ ප්‍රධාන චරිතය රඟපෑවේ ලක්ෂ්මන් විජේසේකර. බියට්‍රිස් යසෝධරාවගේ චරිතය රඟපෑවා. සංගීත නිර්මාණය කළේ ආදී ආනන්දියකු වූ විශාරද සදානන්ද පට්ටිආරච්චි මහතා. මම නාට්‍යයේ අත්වැල් ගායනයට සහභාගී වුණා. අපි නාට්‍ය හොඳට පුරුදු වුණා. මංගල දර්ශනය තිබුණේ විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එදා නොසිතූ ලෙස ලක්ෂ්මන්ට ඇස් ලෙඩ හැදිලා ඇස් දෙක හොඳටම ඉදිමිලා. සංගීත අධ්‍යක්ෂක පට්ටිආරච්චි මහතා හොඳටම කලබල වෙලා. හදිසියට අඩුව පිරිමහන්න නළුවෙකුත් නැහැ. පට්ටිආරච්චි මහත්තයා මා ළඟට ආවා. රෝහණ මේ වෙලාවේ ඔයා අපිට උදව් කරන්න ඕනෑ. අපිට උදව්වක් හැටියට සිද්ධාර්ථ චරිතය රඟපානවාද? පට්ටිආරච්චි සර් බැගෑපත්ව ඇසුවා. 


මම අන්දමන්ද වුණා. 


රෝහණට සින්දුත් කියලා චරිතෙ රඟපාන්න වෙනවා. 


මම කැමැත්ත දුන්නා. ලක්ෂ්මන් කියන දෙබස් ගීත මට කට පාඩම් තිබුණා. මම බියට්‍රිස් එක්ක රඟපෑවා. ඇත්තටම ඒක හැඟුම් රඟපෑමක්. නාට්‍ය ඉවරවෙලා පට්ටිආරච්චි සර් දුවගෙන ඇවිත් මගේ අතින් අල්ලා ගත්තා. 


​රෝහණ අපේ නම්බුව බේර ගත්තා. ජනාධිපතිතුමා හරියට ප්‍රශංසා කළා. 


රෝහණ වීරසිංහයන් මුල්වරට ගී තනු නිර්මාණය කළ ගීත දෙක වූයේ නීලා වික්‍රමසිංහ සමග රෝහණ ගැයූ රන්තරු මිණි මුතු ගීතය හා නීලා ගැයූ සබඳකමක් නැති දෙදෙනෙකු වෙමු ගීතයන්ය. ගීත රචනය උපාලි ධනවල විතානය. සංගීත ක්ෂේත්‍රයේ නව වාර්තා බිහි කරමින් රෝහණ සංගීතවත් කළ ටී.ඇම්. ජයරත්න ගායනා කළ විජය රාමනායක හා කුලරත්න ආරියවංශ නිෂ්පාදනය කළ රත්තරං නෙත් තරංගා කැසට් පටය අළෙවි වාර්තා බිඳහෙළමින් අළෙවි වී ඇත. රත්තරං නෙත් ගීතය ඇතුළු ගීත රැසක් කුලරත්නගේ ගේය පද රචනාය. 


​රෝහණ හා පුරා කියා චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂණය කළේ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ වදුල චිත්‍රපටයෙනි. එතැන් සිට ඔහු සංගීතය මෙහෙය වූ චිත්‍රපට හා ඔහු නිර්මාණය කළ ගීත සඳහා ගීත රචකයන් ගායක ගායිකාවන් සඳහා ජනාධිපති සරසවිය ඕ.සී.අයි.සී. සර්වර්ණසංඛ ඇතුළු සම්මාන ගැන ලියැස්තුවක් හැදුවොත් මේ ලිපිය ඒ ලේඛනයෙන් පිරී යනු ඇත. 


මුල්වරට සරසවි සම්මානයෙන් රෝහණ සංගීත අධ්‍යක්ෂණය සඳහා පුද ලබන්නේ එච්.එම්. ජයවර්ධන නම් තම මිතුරු සංගීතවේදියා සමග ආරාධනා චිත්‍රපටය වෙනුවෙනි. මේ අවස්ථා ලබා දෙන්නේ ද නිෂ්පාදක විජය රාමානයක හා කුලරත්න ආරියවංශය. 


මම සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ අපේ විදුහල්පති විශාරද අමරදේව ශූරීන්. එතුමා මාගේ තනුවකට ආරාධනා චිත්‍රපටයේ ගීත ගැයීමට පැමිණීම මම සලකන්නේ මට ගෞරවයක් කියලා. එතුමට මගේ තිබුණේ අසීමිත ආදරයක් හා ගෞරවයක්. මේ චිත්‍රපටයේ ගායනයට අමරදේව මහතාටත් ගීත රචනයට කුලරත්න ආරියවංශටත්, සංගීත අධ්‍යක්ෂක එච්.එම්.ටත් මටත් සරසවි සම්මාන ලැබුණා. රෝහණ අතීතයේ සිද්ධියක් මතක් කළේය. 


රෝහණ මේ සම්මානය ලබන විට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සංගීත උපදේශක ලෙස කටයුතු කළේය. ආරාධනා චිත්‍රපටයට අමරදේවයන් ගැයූ ජීවිතයේ තනි මංසල අතර මං වෙලා හා මිල්ටන් මල්ලවාරච්චි හා මාලිනි බුලත්සිංහල ගැයූ සීත අරණේ ගීතය ද අතිශයින් ජනප්‍රිය විය. සරසවි සම්මාන ලැබූ සම සංගීත අධ්‍යක්ෂක එච්.එම්. ජයවර්ධන රෝහණ ගැන මෙසේ අපට වරක් පවසා තිබුණි. 


රෝහණ කාගේවත් සිත් නොරිදවා වැඩ කරන සංගීතඥයෙක්. රෝහණගේ ගී තනු මගේ ගී තනුවලට වඩා ලස්සනයි, රහයි. රෝහණ ගැයූ එක ගීතයට මට තනුවක් නිර්මාණය කරන්න ලැබුණා. මට ඒ හොඳටම ඇති කී එච්.එම්. ඒ ගීතය මුමුණා අපට පෙන්විය. 


හැන්දෑකරේ අඹ මල් වට 
බඹරු නටන්නා 
නින්ද නැතත් මං තනියම 
හීන දකින්නා. 


රෝහණ නවක ගායක ගායිකාවන් මෙන්ම නවක ගේය පද රචකයන් ද සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නා පමණක් නොව ඔවුනට සම්මාන ලබා ගැනීමට ඉඩ හසර ලබා දුන් අව්‍යාජ, නිර්ලෝභී කලාකරුවෙකි. ඔහුට වඩාත් අර්ථවත් ගේය පද ලියාදුන් ප්‍රවීණයන් අතර මහාචාර්ය සුනිල් ආරියරත්න හා කුලරත්න ආරියවංශ විශේෂිතය. කුලරත්න රෝහණගේ හොඳම මිතුරන් අතර ද විශේෂිතය. ඔහු කියන්නේ මෙවැනි වදන් පෙළකි. 


රෝහණ මට මිතුරෙකු මෙන්ම සහෝදරයෙක් වගේයි. ඔහු විනෝදයට කැමති විනෝද කතා රාශියක් දැන ඒවා රස කර මිතුරන්ට කියා සතුටු වන අපූරු රසවතෙක්. නමුත් රෝහණ සංගීත නිර්මාණයේදී අමුතු කෙනෙක්. කරන දේ හරියට කිරීමට උපරිමව කැප වෙන කරන දේ වගකීමකින් යුතුව කරන වෘත්තීය කලාකරුවෙක්. ඒ වගේම රෝහණ සරල මිනිහෙක්. ලැබෙන ප්‍රසංශා ගැන අභිමානයක් නැති නිහතමානී කලාකරුවෙක් ඔහු. කිසි දිනක මුදල් පසු පස නොගිය ඔහු ප්‍රවීණයන්ට මෙන්ම නවකයන්ට සම සිතින් නොමිලයේ තනු නිර්මාණය කර දුන් පරිත්‍යාගශීලී කලාකරුවෙක්. විටෙක අයුක්තියට අසාධාරණය වෙනුවෙන් නොබියව සටන් වදින රෝහණ දයාලු හදවතකට හිමිකම් කියන සංවේදී පුද්ගලයෙක්. මිතුරෙකුට හිතවතෙකුගේ විපතක දී කරදරයක දී රෝහණගේ නෙත් කඳුළින් පිරෙන බව ස්වභාවයක්. කරදරයක දී තම හිතවතාගේ සරණට රෝහණ ළඟින් හිටියා. 
රෝහණගේ ගී තනුවක් රැගත් ජනප්‍රිය ගීත දහයක්වත් අපේ රටේ කුමන එෆ්.එම්. නාලිකාවක ද ප්‍රචාරය වන බව අතිශයෝක්තියක් නොවේ. රූපවාහිනී නාලිකාවල ද අඩු නැතිව ඒවා නිරතුරුව විකාශනය වෙයි. තමාගේ මියුරු ගී තනු වෙනත් ශිල්පීන්ට බෙදා දී ඒවා අසා සිටිමින් ද ඔවුන්ට සම්මාන ලැබෙන විට දෑත රිදෙන තුරු අත්පොළසන් දී අසීමිතව සතුටුවන චරිතයකි. 


​රෝහණ වෙනුවෙන් කලකට ඉහත රවි සිරිවර්ධන හා සමුද්‍ර වෙත්තසිංහ සංස්කරණය කළ ලාංකීය සංගීතයේ රෝහණ සලකුණ නම් අගනා ග්‍රන්ථයක් 2002 දී පළ කර තිබුණි. මේ වසරේ රෝහණගේ සුදු මුතු රළ පෙළ රෝහණ සිනමා ගීතාවලෝකන ප්‍රසංගය වෙනුවෙන් සුනිල් ආර්. ගමගේ සංස්කරණය කළ රෝහණ වරුණ ශාස්ත්‍රීය සංග්‍රහයක් ද නිකුත් විය. 
රෝහණ හා බියට්‍රිස්ට පුතුන් දෙදෙනෙකි. වැඩිමහල් පුතු කළිඳු වීරසිංහ ඕස්ට්‍රේලියාවේ කැන්බරාවල ද බාල පුතු චිරාත් වීරසිංහ මෙල්බන්වල ද පදිංචිව සිටිති. 

 

 

ඒ.ඩී. රන්ජිත් කුමාර