සිහිවටනයක පසුබිම් කතාව
ටවුන් හෝල් හංදියේ තුනටියට අත තියාගත් අමුතුම ආකාරයේ ප්‍රතාපවත් පිළිමයක් දෙස එම ප්‍රදේශය පසුකර යන කවුරුත් නිතිපතා තම අවධානය යොමුකරන බව නොරහසකි. දිගු කලිසමක්, ඊට උඩින් ඇඳි රෙද්දක්, දිගු ලෝගුවක් හැඳ සිටින මේ ප්‍රතාපවත් පිළිමයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් මෙරට කිසිදු ප්‍රතිමාවක එලෙස දක්නට නොලැබේ.
මීට කලකට ඉහත මෙම ප්‍රතිමාව නිරූපණය කරන ලද්දේ කුමක්දැයි තතු දත්තෝ විග්‍රහ කරන ලද්දේ මෙසේය. මෙම ප්‍රතිමාවේ දකුණු අත මඳක් දිගුකර ගෙන ඉන්නේ යම් කෙනෙකුට යමක් ප්‍රදානය කරන්නට යාම මූර්තිමත් කිරීමටය.
දකුණු අතේ ඇත්තේ යතුරකි. ඒ යතුර එතුමාගේ භාණ්ඩාගාරයට සංකේතයකි. යතුර අතේ තියාගෙන ඉන්නේ එතුමා තම භාණ්ඩාගාරය විවෘත කර තම ධනය පොදු ජනතාවට බෙදා දුන් බව මූර්තිමත් කිරීමට විය යුතුය.
මේ ප්‍රතිමාව අන් කිසිවකුගේ නොව ලංකාවේ ජීවත් වූ අංක එකේ ධනවතකු, දානපතියකු, සමාජ සේවකයකු ද වූ චාර්ල්ස් හැන්රි ද සොයිසා ශ්‍රීමතාණන්ගේ බව පැහැදිලිය.
එහෙත් අද මේ ප්‍රතිමාව දුටු විට අපට දැකගත හැක්කේ ප්‍රධාන අඩුපාඩුවකි. ඒ, අන් කිසිවක් නිසා නොව මේ පිළිමයේ සොයිසා ශ්‍රීමතාණන්ගේ අතේ වූ යතුර ‘කළගුණදත් ජනතාව’ විසින් සොරකම් කරගෙන යාමය. එතුමා දැන් නිර්ලෝභීව තම භාණ්ඩාගාරයෙන් ධනය බෙදාදීමට මනාප වුවද තමන්ගේ දකුණතේ වූ යතුර අතුරුදන් වීම එතුමාට ප්‍රශ්නයක් වනු නියතය.!
පසුගිය මාර්තු 03 වැනි දින චාර්ල්ස් හැන්රි සොයිසා මැතිතුමාගේ ගුණසමරු දිනයයි. කවුරුත් නිකම්ම නම කිව්වද ‘ශ්‍රීමත්’ චාර්ල්ස් හැන්රි ද සොයිසා නමින් හඳුන්වන්නේ නැත. එතුමාට ‘නයිට්’ නාමය පුදකරන්නට මහ රැජින බ්‍රිතාන්‍යයේ සිට එවූ අක්ත පත්‍රය නැවේ තිබෙද්දී ෙලා්කයේ අනිත්‍යභාවය පහදමින් එතුමා එය ප්‍රදානය කරන්නට ද පෙර මෙලොව හැර ගිය බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. එතුමාගේ අභාවයෙන් පසු එතුමාගේ ප්‍රිය බිරිඳ ලංකාවේ ප්‍රථම ශ්‍රීමත් ආර්යාව බවට පත්වූවාය.
සොයිසා යන නාමය ඇසූ සැණින් බොහෝ දෙනාගේ මතකයට එන්නේ මොරටුව ප්‍රදේශයයි. 1904 දී එනම් මීට වසර 114 කට පෙර චාර්ල්ස් හැන්රි ද සොයිසාගේ ‘ජීවිත කතා ශරීරය’ නම් පිටු 991 ක කෘතියක් පළකොට තිබේ. එය ලියා පළකොට ඇත්තේ සී. දොන් බස්තියන් විසිනි. පොත මුද්‍රණය කොට ඇත්තේ Sinhalese daily News Press, Pettah යන තැනය. පොතේ කතුවරයා වූ එවකට පළ වූ ‘දිනපතා ප්‍රවෘත්ති’ ආරංචි පත්‍රයේ කතුවරයා බව පෙරවදනේ සඳහන්.
මෙහිදී මෙරට පත්‍රකලා ඉතිහාසය ග්‍රන්ථාරූඪ කිරීමේදී ඇතිවී ඇති පටලැවිල්ලක් ද නිරාකරණය කරගත යුතුව ඇත. බොහෝ දෙනා ‘දිනපතා ප්‍රවෘත්ති’ කියූ සැණින් Daily News නමින් පුවත්පතක් 1904 දී පවත්වාගෙන ගිය බව ජනමාධ්‍ය පාඨමාලා දේශනවලදී අසන්නට ලැබෙන කරුණකි. මෙම ග්‍රන්ථය මුද්‍රණය කොට ඇති මුද්‍රණාලයේ නම Daily News විනා එය පුවත්පතක් ලෙස වරදවා පටලවා තේරුම් ගත යුතු නැත.
බොහෝ දෙනා සොයිසා පරම්පරාව කියූ සැණින් මොරටුව නිජබිම කරගත් ප්‍රභූ පිරිසක් යැයි පැවසුව ද ඔවුනගේ මුල් පරම්පරාව දෙවිනුවර වරුස හැන්නැදිගේ පරපුරෙන් පැවත එන්නක් බව ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යයි. මේ ඉතිහාස කතාව අනුව 17 වැනි සියවසේදී මුලදී දෙවිනුවර මහා විෂ්ණු දේවාලය පෘතුගීසීන් විසින් වනසා දමා ගිනිබත් කොට ඇත. දේවාලය වනසනවිට එහි බස්නායක නිලමේවරයා වී ඇත්තේ සොයිසා පරම්පරාවේ ඇත්තෙකි.
17 වන සියවස මුලදී චාර්ස් හැන්රි ද සොයිසා මැතිතුමාගේ සීයාගේ පියා මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර සිට මොරටුවට සංක්‍රමණය වී ඇත. මෑත කාලයේ මේ කරුණ සනාථ කොට ඇති පුද්ගලයකු නම් හිටපු ජනාධිපති ලේකම්වරෙයකු වූ කේ. බාලපටබැඳි මහතාය.
සොයිසා මහතා ගැන මෑත කාලයේ තැබූ සටහනක මේ කරුණ බාලපටබැඳි මහතා ද දක්වා ඇති අතර 1904 දී සොයිසා චරිතයේ ද එය ‘කොළේ වසා ගසා’ ඇති බව පමණක් සඳහන් කළ හැකිය.
සොයිසා පරපුරට මේ තරම් පිරී ඉතිරී ගිය ධනස්කන්දයක් හිමිවුණේ කෙසේදැයි ඇති කටකතා බොහෝය. සොයිසා චරිතයේ 34 වැනි පිටුවේ මේ ගැන කරුණු පෙළගස්වා ඇත. ඒ ‘නිධාන’ කතාව ගැනය.
1836 මාර්තු 3 වැනිදා උපන් චාර්ස් හැන්රි ද සොයිසාගේ පියා මොරටුවේ වරුසහෙන්නැදි ජෙරෝනිස් ද සොයිසාය. ඔහුගේ බිරිඳ කැතරින්ය. ඔවුන්ගේ එකම දරුවා චාර්ල්ස් හැන්රිය. මේ පුතා උපදින විටත් ජෙරෝනිස් මහා කෝටිපතියකු වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් එම ධනයේ මූලාරම්භය ‘නිධානයක් ගොඩගැනීමෙන් දැයි’ පැහැදිලිව නිශ්චය කොටගත නොහැකිය.
1862 දී ජෙරෝනිස් ද සොයිසා පරලොව යන විට ගොඩගසාගත් කිසිදු දේපලක් ගෙනගියේ නැත. චාර්ල්ස් හැන්රි ඒ සියලු නිශ්චල චංචල දේපලේ උරුමක්කාරයා විය. ඒ අතර අක්කර දහස් ගණනක ඉඩම් ද ඔහු සතුවිය. තරුණ සොයිසා එම ඉඩම්වල විවිධ අපනයන භෝග වගා කරන්නට රුසියෙකු විය.
ඔහු ඉන් ලත් අපනයන ආදායම හරි ලෙස පරිහරණය කරන්නට විය. අපනයනයෙන් උපයා ගත් පවුම් ඔහු ආයෝජනය කරන ලද්දේ මිනිරන් පතල්, තෙල් මෝල් ආදියටය.
තරුණ සොයිසාගේ ධනය බලා සිටිත්දී දෙගුණ තෙගුණ විය. තරුණ සොයිසාගේ බාප්පා වූයේ වාසල මුදලි සුසෙව් ද සොයිසාය. දරුවන් නොසිටි නිසා බාප්පාගේ බූදලය ද චාර්ල්ස් හැන්රිට හිමිවිය.
සොයිසා චරිතය අනුව 1893 දී සොයිසා තරුණයා විවාහ වූයේ ජුසේද සිල්වාගේ දුහිතෘ කැතරින් සමගය. තරුණ සොයිසාට මනමාලියගේ පාර්ශ්වයෙන් ලැබුණේ දායාදය ලෙස මහ ධනස්කන්දයකි. 1870 වන විට චාර්ල්ස් හැන්රි සොයිසා සතුව කෝපි වතු අක්කර 16,000 ක්, පොල්වතු අක්කර 6,368 ක්, කුරුඳු වතු අක්කර 1,700 ක් වූ බව ගිණුම් ලේඛනයේ දක්වා ඇත.
චාර්ල්ස් හැන්රි ද සොයිසා කොළඹ පදිංචියට තෝරාගෙන තිබුණේ කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් හවුස් මන්දිරයයි. එම ඉඩමේ උද්‍යාන ද ඇතුළුව මුළු බිම් ප්‍රමාණය අක්කර 112 කි. “සොයිසා කතා ශරීරය” ඇති පරිදි මෙම මන්දිරය තැනීමට පෙර මෙය පොල් වත්තකි. මේ පොල් වත්ත ගාලු පාරේ සිට තර්ස්ටන් පාරටත් අනෙක් පසෙන් බගතලේ පාරේ සිට පාසල් මාවත දක්වාත් පැතිර තිබුණි. මීට වසර 26 කට පෙර කරන ලද සංගණනයකදී එම මුල් ඉඩම කොටස් 208 කට වෙන්වී ඇති බව මිනින්දෝරු වාර්තාවක සඳහන් වී තිබුණි.
කාමර 100 කින් යුතු ඇල්ෆ්‍රඩ් හවුස් මන්දිරය ගොඩනගා ඇත්තේ ඇල්ෆ්‍රඩ් කුමරුගේ ලංකා ගමන නිමිත්තෙනි. මේ මහා මන්දිරය දින 80කින් ගොඩනගන්නට චාර්ස් හැන්රි ද සොයිසාට කෙතරම් ධන බලයක් තිබුණාදැයි සිතාගත නොහැකි වනු ඇත.
ඇල්ෆ්‍රඩ් කුමරු මෙරටට සැපත් වූ දිනය ලෙස දැක්වෙන්නේ 1870 මර්තු 30 වැනිදාය. එවකට ආණ්ඩුකාරවරයා වූයේ සර් හර්කියුලස් රොබින්සන්ය.
වේල්ස් කුමරුගේ ලංකා ගමන නිසා ලක්දිව සුපතළ වේල්ස් කුමර විදුහල හා වේල්ස් කුමරි විදුහල ඇරඹුණි. මෙහි වේල්ස් කුමරා නමින් ලාංඡනයක් යෙදීමට වේල්ස්කුමාරයාගේ අවසර ලැබුණි. ෙව්ල්ස් කුමාරයා නමින් නම් කිරීමට අවසර ලද ලෝකයේ එකම විදුහල ලෙස මෙය ඉතිහාස ගතවී ඇත. කොළඹ වරායේ දියකඩන බැම්මට මුල්ගල තැබුණේ ද වේල්ස් කුමාරයාගේ ලංකා ගමන සිහිවීමටය.
අැල්ෆ්‍රඩ් හවුස් මන්දිරයට අවශ්‍ය බොහෝ දේ නැව් පිටින් එංගලන්තයෙන් හා බෙල්ජියමෙන් ගෙන්වා ඇත. ඇල්ෆ්‍රඩ් කුමරුට ආහාර ගැනීමට අවශ්‍ය හැඳි, ගෑරුප්පු, පිඟන් සියල්ල නිමවන ලද්දේ රත්තරනින්ය. සොයිසා චරිතයේ ඇති රත්‍රන් භාජන පිංතූරවල රත්‍රං පිඟන් දෙකක්, ෂැම්පේන් භාජන 3 ක්, ගෑරුප්පුවක්, පිහියක් සහ හැන්දක් ද ඇත. රන් හැඳිවල මිටේ මිදි කොළ කොටා වටිනා රතු මැණික් ඔබ්බවා මිදි වෙනුවට දුර්ලභ මුතු ඔබ්බවා තිබූ බව ‘කැප්ෂන්’ එකේ දක්වා තිබේ.
1870 අප්‍රේල් 22 දින ඇල්ෆ්‍රඩ් මන්දිරයේ පැවති සාදය සිත්ගත් එකක් වී ඇත. ‘සිලෝන් එකේ’ ශිල්පින්ගේ නැටුම්, ගැයුම්, වැයුම් රාජ කුමාරයා නිදිවර්ජිතව රස වින්දේය. ඇල්ෆ්‍රඩ් කුමරුගේ සාදය විදේශීය පුවත්පත්වල පවා වාර්තා වී ඇත. එකල ගාලු පාර තාර පාරක් නොවූ නිසා කුමරු රැගත් අස්ස රථ පෙළ දූවිල්ලෙන් බේරා ගැනීමට පාන්දර ජාමේ සිට කරත්ත මඟින් වතුර ගෙනවිත් පාර තෙක්කොට ඇත.
සොයිසා චරිතයේ සඳහන් පරිදි නාඩගම් සඳහා අවශ්‍ය මුතුමැණික් එබ්බ වූ දිලිසෙන විල්ලුද ඇඳුම් ආයිත්තම් එංගලන්තයෙන් ඇණවුම් කොට ගෙන්වා ඇත.
චාර්ස් සොයිසා කේන්ද්‍රය ගැන දක්වා ඇත්තේ විශේෂ සැලකිල්ලකි. නිතර තම වේලාව බලා ගැනීමට සොයිසා මහතා මන්දිරයට කැඳවා ඇත්තේ එකල පංචාංග ලිත් කතුවරයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ තම්බි අප්පු ගුරුන්නාන්සේය.
1870 දී 34 හැවිරිදි චාර්ල්ස් හැන්රි ද සොයිසා නැව් නැග එංගලන්තයට ගිය අතර නැවත ලංකාවට ඒමට නැව් නැග ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයකු ලෙසය. ලංකාවට පැමිණි සැණින් තම්බි අප්පු ගුරුතුමාට පණිවුඩයක් යවා ගෙන්වා ගත් ඔහු තම කේන්දරය පරීක්ෂා කරවා බලන්නට විය.
‘සිටුතුමාට ඉතාම අපල කාලයක් උදාවෙලා තියෙන්නේ. විෂ දෝෂ - සිවුපා සතුන්ගෙන් අනතුරු බහුලයි’ කේන්දරය බැලූ තම්බි අප්පු ගුරුතුමා පවසන්නට වූයේ ඇහි බැම ඉහළට ගනිමින් බැරෑරුම් ලෙසය. 1890 ජුලි 30 වැනිදා පුලිනතලාරාමාධිපති වැලිගම ශ්‍රී සුමංගල ගණාචාර්ය නායක ස්ථවීරපාදයන් සහ තම්බි අප්පු ගුරුතුමා සමග ආගිය තොරතුරු විමසමින් සිටි සොයිසා මහතා හිටි අඩියේම පවසා ඇත්තේ එම සතියේ කෙසේ හෝ ව්‍යාපාර කටයුත්තකට උඩරටට යාමට අවශ්‍ය බවය.
“සිටුතුමා මේ සතියේ කේන්දරේ ප්‍රකාරව නපුරු දවස් කීපයක්ම තියෙනවා. උඩරට බිස්නස්වලින් කොතරම් ලාබ තිබුණත් මාරකේ පන්නන්න ඈත එපිට ගෙනයෑමයි සුදුසු”යි තම්බි අප්පු ගුරුතුමා පැවසූ දෙය සුමංගල හිමියෝ ද හිස වනා අනුමත කරන්නට වූහ.
සොයිසා මහතාට ඉතා හිතවත් සේවකයා වූයේ ‘ඔමරු බාස්ය’. ඔහු මරක්කල ජාතිකයකු විය. පසුදා අලුයම සොයිසා මහතා සිහිනෙන් බියවී කෑ ගසනු ඇසී ඔමරු බාස් වහා දිව එන්නට විය.
උස් වූ දත් මහත් වූ නියා ඇති කළු දැවැන්ත මිනිසකු ආයුධ අතැතිව විත් මාව හපා කන්නට පැන්නා’ යි සොයිසා මහතා බියපත්ව ඔමරු බාස්ට කියන්නට විය. ගෙන්වා ගත් රිදී වතුර සෙම්බුව උගුරට දෙකට ඇද බෑ සොයිසා මහතාගේ සිරුර දාඩියෙන් තෙත්වන්නට විය.
සොයිසා මහතා බල්ලන්ට දැක්වූයේ දැඩි ඇල්මකි. විවේක වේලාවේදී බගතලේ පාරේ සිට ගාලු මුවදොර දක්වා ඇවිදීම එතුමාගේ සිරිත විය.
සොයිසා මහතා ගෙදර ආදරයට ඇති කළේ බැල්ලියකි. ‘ටැරිටර්’ වර්ගයේ එකියක වූ ඌට සුපිරි ආහාරපානාදියෙන් අඩුපාඩුවක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත.
දිනය හරියටම කිවහොත් මීට වසර 123කට පෙර 1890 අගෝස්තු 2 වැනිදාය. සොයිසා මහතාගේ යහන් ගැබ පිහිටි උඩුමහලට ඇතුළු වීම සේවකයන්ට තහනම්ය.
උදෑසන අවදි වූ සොයිසා මහතා ලී තරප්පුවේ පඩි එකින් එක බහින්නට විය. ‘ටැරියර්’ බැල්ල බිම්මහලේ සිට බලා සිටියේ සොයිසා මහතා එනතුරුයි. බැල්ල ක්ෂණයකින් වියරු වැටී එක හැල්මේ සොයිසා මහතාගේ බෙල්ලට පනින්නට වූවාය. අන්දමන්ද වූ සොයිසා මහතා පැහැදිලි ලෙස වටහාගත් කරුණක් වූයේ බැල්ල වියරු වැටී පැන්නේ මිතුරුකමකට, හෝ හුරතලයට නොවූ බවය.
වියරු වැටුණු බැල්ලිය වම් අත ලේ එනතුරු සපා කන්නට වූවාය.
‘මේ බැල්ලි දාන්න කූඩුවක් ගෙනෙන්! සොයිසා මහතා බියපත්ව කෑගහන්නට විය. මන්දිරයේ මුරකරු වූ ‘බුරම්පි’ වහා යකඩ කූඩුවක් ගෙන වැර යොදා ඔමරා බාස්ගේ ද සහයෙන් බැල්ලිය කූඩුවට දමා ඉබි යතුරු දමන්නට විය. වියරුවෙන් සිටි බැල්ලිය යකඩ කූරු හපාකමින් සෙම බේරන්නට වූවාය.
සොයිසා මහතාගේ බෑණනුවන් වූයේ දොස්තර සලමන් ප්‍රනාන්දුය. සපා කෑ තුවාලවලට බේත් දැමූ දොස්තර බෑනා මාමණ්ඩියට ඔවදනක් ද දුන්නේය. ‘කූඩු කොට ඇති බැල්ලියගේ හැසිරීම හොඳින් නිරීක්ෂණය කළ යුතුයි’ යැයි දොස්තර සලමන් පවසා සිටියේ හපාකෑමට පෙර බැල්ලියගේ හැසිරීම සම්පූර්ණ නිරීක්ෂණයකින් පසුවය.
දොස්තර සොලමන් ප්‍රනාන්දු දොස්තරවරුන් වශයෙන් උපාධිය ලබාගත් ප්‍රථම සිංහලයන් දෙදෙනාගෙන් කෙනෙකු නිසා ඔහු ජාතික වීරයකු වශයෙන් ද උපහාරයට ලක් වී ඇති චරිතයකි.
හිටි අඩියේ වියරු වැටුණු බැල්ලිය මුලින්ම ගොස් ඇත්තේ මන්දිරයේ කුස්සියටය. එය දෙතුන් සියයකට වුවත් ආහාර පිසිය හැකි පන්නයේ එකකි. බැල්ලියගේ හැසිරීම නොඉවසූ අරක්කැමියා බැල්ලියට දර පොල්ලකින් පහර දී එළවා දමා ඇත. මන්දිරයේ එවකට සේවකයෝ විසි ගාණක් සිටි අතර විශාල ගෙවත්තේ සත්ව උද්‍යානයක් ද තිබී ඇත. නමුත් ඒ කිසිවකු සපා කන්නට බැල්ලිය ගියේ නැත. තරප්පු පෙළ යට බැල්ල පැයකට වඩා කුරුමානම් අල්ලමින් සිට ඇත්තේ සොයිසා මහතා බිම් මහලට එනතුරුය.
සොයිසා මහතාගේ රෝගී තත්ත්වය කෙමෙන් ජලභීතිකා තත්ත්වයකට පෙරළෙන්නට විය. දොස්තර සලමන්ගේ නිර්දේශය වූයේ සොයිසා මහතා එවකට ලෝකයේ අංක එකේ ජලභීතිකා විශේෂඥ වෛද්‍යවරයාට යොමු කිරීමයි. වෛද්‍යවරයා සිටියේ ප්‍රංශයේ බැවින් ප්‍රංශයට නැව් නැගීමට සොයිසා මහතා ඇතුළු පිරිසට ටිකට් පත් ද මිල දී ගත් පසු ගමනට එරෙහි වූයේ සිංහල වෛද්‍යවරුන් පිරිසකි.
ප්‍රංශ ගමන අත්හළ ‘නඩය’ සිංහල බේත් කරන්නට වෙද මහතා එකඟ කරගන්නට විය. මේ අතර කූඩු කළ බැල්ලියට සිදුවූයේ කුමක්ද? දිනෙන් දින උෙග් පිස්සු බලු ලක්ෂණ ඔඩු දුවන්නට විය. ඇස් බලන්නට බැරි තරම් රෞද්‍ර විය. ජල වීදුරුවක් වත් කූඩුව අසලින් ගෙන යන්නට බැරි විය. සොයිසා මහතා හපා කා හත් වැනි දිනට එළි විය. පැය ගණනාවක් පළාතම දෙදරුම් කවමින් විලාප දුන් බැල්ලිය එක්වරම යකඩ කූරක් වියරුවෙන් හපා කමින් සෙම පෙරාගෙන කූඩුව තුළම මැරී වැටුණි.
කූඩුවේ තිබූ එංගලන්ත චීස්, බේකන්, මුද්දරස්පලන් කිසිවක් නොකෑ බැල්ලිය දින හතක් නිරාහාරව සිට ඇත.
]
සිංහල වෙදකම් කිරීමට බේත් හේත් සොයා ගැනීමට ඇති අපහසුව නිසා ‘මොරටුවේ සුවිසල් මන්දිරයට ‘සොයිසා මහතා රැගෙන ගිය බවත් ඒ 1890 අගෝස්තු 06 වැනි දින බවත් ‘සොයිසා ජීවිත කතා ශරීරයේ’ අච්චු ගස්වා ප්‍රසිද්ධ කොට ඇත. මොරටු වලව්වේ වෙද මහත්තුරු තුන්දෙනෙක් සඳහා නවාතැන් සකස් කළ ළමාතැනී, සොයිසා මහතාගේ රෝගී තත්ත්වය මොහොතින් මොහොත විමසන්නට වූවාය. 1890 අගෝස්තු 9 වැනි දින මධ්‍යම රාත්‍රියේ මොරටුව වලව්වම දෙවනත් කරමින් මහ හඬින් කෑ ගසමින් සොයිසා මහතා නින්දෙන් අවදි විය.
‘කුරුල්ලන් කීප දෙනෙක් පියාසර කරමින් ඇවිත් මගේ තුවාලවලට කොටමින් හාරා කන්ට පටන් ගත්තා’ සොයිසා මහතා රෑ නිදිවරමින් තම කුටියේ සිටි වෙද මහතුන් තුන්දෙනාට පවසන්නට විය. වෙද මහත්වරු මුහණට මුහුණ බලාගන්නට වූහ. සිහින පලාපල හොඳින් දත් වෙද මහත්වරුන්ට සිහිනයේ ‘අසුබ පල’ අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය වූයේ නැත. නමුත් සිහින පලාපල අර්ථකථනයක් දීමට නොගිය වෙද මහත්වරු වෙනදාටත් වඩා උනන්දුවෙන් බේත් කරන්න වූහ.
‘රෝගය සුවවීමේ සුබ ලකුණක් සිටුතුමා දැක ඇතැයි’ වෙද මහත්වරු සොයිසා මහතාව සනසන්නට වූහ. කෙමෙන් බේත් වේල සැරකරත්දී සපා කෑ අතේ තිබූ තුවාල සුව විය. ඊළඟට ශරීරය තුළ ඇති ජලභීතිකා රෝගය සුවපත් කළ යුතුය. සිංහල වෙදකම අනුව රෝගියාෙග් සිරුරට බේත් ඇතුළුකොට පිස්සුවැට්ටිය යුතු විය. බේත් වඩිය වැඩිකර දුන් මුත් සොයිසා මහතාට පිස්සු වැටුණේ නැත.
1890 සැප්තැම්බර් 28 වැනි ඉරු දින උදා විය. සොයිසා මහතා එදා නියම පිස්සු බලු ලක්ෂණ පෙන්වීය. බැල්ලිය සපා කෑ අත බලා ඉඳිද්දී ඉදිමෙන්නට වූ අතර වේදනාව ඉවසාගත නොහැකිව සොයිසා මහතා විලාප දෙන්නට විය. වතුරට බියවීම, වතුර ගිලීමට අමාරුව, එළිය අප්‍රිය වීම, අඳුර ප්‍රියවීම ආදී සියලු ලක්ෂණ පෙන්නුම් කරන බැවින් තමා මේ කෙමෙන් ළඟා වෙන්නේ මරණයට බව සොයිසා මහතා තේරුම් ගන්නට ඇත. ඔහු වහාම දෙදෙනකු නම් කර ඒ දෙදෙනා රැගෙන එන ලෙස දන්වන ලදී. එය දැන්වීමකට වඩා නියෝගයක් විය.
ෙමාරටුව ශුද්ධ එම්මානුවෙල් දේව මන්දිරයේ අධිපති ජොහානස් ද සිල්වා පූජකතුමා, නීතිඥයන් වූ ලෝස් වැන්කියුලැන්බර්ග් එම දෙදෙනාය. පූජකතුමා ලවා ආගමික චාරිත්‍ර ඉටු කරවාගත් සොයිසා මහතා නීතිඥයින්ට නියෝග කළේ තම අලුත්ම අන්තිම කැමැති පත්‍රය සකස් කරන ලෙසය. මරණය දැක දැක අන්තිම මොහොතේත් සොයිසා මහතා තම දේපළ නිරවුල්ව පවරා දීම නීතිඥයින් ද විමතියට පත් කරන්නක් විය.
අන්තිම කැමති පත්‍රය අත්සන් කර ටික වේලාවක් ගිය විට සොයිසා මහතා සියලු පිස්සු බලු ලක්ෂණ පෙන්නන්ට වූයේ බලා සිටින්නන් බියපත් කරමිනි. වියුරු වැටීම වැළැක්වීමට ශරීර ශක්තිය අඩපණ කිරීමට දුන් බේත් වඩියක් හක්කේ තබාගෙනම සොයිසා මහතා නින්දට සම වැදෙන්නට විය. එදින රාත්‍රී 9ට එනම් 1890 සැප්තැම්බර් 29 වැනි සඳු දින සොයිසා මහතා තම සියලු සම්බ සේසතම අතහැර සුර කුමරුන් වෙත පියාපත් සැලුවේය. එදිනට ඔහුගේ වයස අවුරුදු 54කුත් මාස 6ක් විය.
චාර්ස් හැන්රි ද සොයිසා ගේ මේ අභිරහස් මරණය ගැන මුඛ පරම්පරාගතව කට කතා බොහොමයක් ඇත. බලගතු පිල්ලියක් කළ මන්ත්‍ර ගුරුකමක් එම මරණයට හේතු වූ බව ප්‍රකට මතයයි.
මුඛ පරම්පරාගතව එන කතාව නම් බත්තරමුල්ලේ ශ්‍රී සුභූති නාහිමියෝ ‘පිල්ලියක්’ එවා සොයිසා මහතා මරා දැමූ බවය.
සුභූති හිමියන් එවකට මන්ත්‍ර ගුරුකම් ගැන උසුලා ඇත්තේ මහත් කීර්තියකි. චාර්ස් හැන්රි ද සොයිසා ඔය ගුරුකම් ගැන එතරම් සැලකිල්ලක් දැක් වූ පුද්ගලයකු නොවීය. එහෙත් ඔහු සුභූති හිමියන්ගේ කෙරුවාව ගැන හොඳින් දැන සිට ඇත.
දිනක් තම මන්දිරයේ සඳලුතලයට වී පාර දෙස බලා හුන් සොයිසා මහතාට දැකගත හැකි වූයේ පාරේ වඩින බත්තරමුල්ලේ සුභූති හිමියන්ය. සුභූති හිමියන් තම මන්දිරය අසලින් යනවිට හීන් හඬින් මෙසේ කියා ඇත.
‘මුත්තර බල්ලත් යන්නේ!’ සොයිසා මහතා හීන් හඬින් කියූ දේ පාරේ වඩිමින් සිටි සුභූති හිමියන්ට ඇසී මහත් කෝපයට පත්වූහ. සොයිසා මහතා හොඳින් පෙනෙන තැනකට පාරෙ තැනකට ගිය සුභූති හිමියන් දබර ඇඟිල්ල දිගු කොට මෙවැනි අභියෝගයක් කොට ඇත.
‘හොඳයි මම උඹට මුත්තර බල්ලෙක් එවන්නම්!’
සුභූති හිමියන්ෙග් අභියෝගය සොයිසා මහතාට හරි හැටි ඇසුණේ නැති මුත් උද්‍යානයේ මල්වලට සාත්තු කරමින් සිටි ‘ඔමරු බාස්’ හොඳ හැටි අසාගත හැකි විය. හාමුදුරුවන්ගේ කොරුවාව දත් ඔමරු බාස් බියපත්ව සිද්ධිය සොයිසා මහතාට සැල කර සිට ඇත.
1982 නොවැම්බර් 13 දක්වා අවුරුදු 88ක් ජීවත් වූ පී. කේ. ඩබ්ලිව්. සිරිවර්ධන මහතා රස කර කියා ඇති පරිදි නැවත පන්සලට වැඩම කළ සුභූති හිමියන් තම කුටිය වසාගෙන දින ගණනාවක් ජප කරන්නට විය. අවසානයේ ජපකොට සොයිසා මන්දිරයට බලගතු පිල්ලියක් එවා ඇත. චාර්ස් හැන්රි ද සොයිසා මහතාගේ බැල්ලියට වැසී ඇත්තේ එම පිල්ලියයි. පිල්ලියෙන් වියරු වැටුණු බැල්ලිය ඇඟට පැන සපා කෑම නිසා සොයිසා මහතාගේ මරණය සිදුවී ඇත.
චාර්ස් හැන්රි ද සොයිසා මහතා මෙරටට කළ සේවය සුළුකොට තැකිය හැකි නොවේ. 1848 මාතලේ කැරැල්ලේ දී ඉංග්රීසින්ෙග් අත්අඩංගුවට ගත් සිංහලයන් වෙනුවෙන් කෙළින්ම ඔහු පෙනී සිටියේය.
ඉංග්‍රීසි හමුදාව සමඟ සාකච්ඡා කොට කැරලිකරුවන්ගේ ජීවිත ආරක්ෂාව ලබාදීමට චාර්ලස් හැන්රි ද සොයිසා නාමයට අදත් කළගුණදත් ඇත්තෝ කෘතවේදීත්වය පළකරති. එම කැරැල්ල මෙහෙයවනු ලැබුවේද මොරටු පුත්‍රයෙකි. නම ඩබ්ලිව්. ප්‍රැන්සිස්කු ප්‍රනාන්දුය. මේ වෙනින් කවුරුවත් නොව වීර පුරන් අප්පුය.
1887 දී පළ කරන ලද ජෝන් ෆර්ගියුසන්ගේ ජුබිලි වර්ෂයේ ලංකාවේ මුද්‍රිතයේ සඳහන් පරිදි ලංකා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම ෙගාඩනැගිල්ල තනවා ඇත්තේ සොයිසා මහතා විසිනි. එයට ඉඩම පරිත්‍යාග කොට ඇත්තේ මුදලිඳු සැම්සන් රාජපක්ෂ විසිනි.
සොයිසා චරිතයේ හඳුනාගත් පරිදි එංගලන්තයේ ළමයින් සඳහා වූ ධර්මොන්ඩ් රෝහල, ට්‍රොස්ටන් රෝහල, රාජකීය නිදහස් රෝහල මෙන්ම එංගලන්තයේ වික්ටෝරියා ළය රෝහලටද සොයිසා මහතා පවුම් ලක්ෂ ගනණක් පරිත්‍යාග කොට ඇත.
මෙරට කෘෂි කර්මාන්තය නවීකරණය කිරීම සඳහා බොරැල්ල මොඩල් ෆාම් පාරේ ගොවිපළක් පිහිටුවීමට කොළඹ කනත්තේ අක්කර 87ක් චාර්ස් හැන්රි ද සොයිසා පරිත්‍යාග කරන ලද්දේ පවුම් 10,000ක ප්‍රදානයක්ද සමඟය. මෙය ‘ඇල්ෆඩ්’ ආදර්ශ ගොවිපළ නම් විය. ඒ වෙත යන මාර්ගයේ නියම නම වූ කලී මොඩල් ෆාම් රෝඩ්ය. සොයිසා චරිතය සමග ‘ප්‍රථම’ යන යෙදීම් ගණනාවකි. ඔහු ලංකාවේ ප්‍රථම වැවිලිකරු මෙන්ම වැවිලි නිෂ්පාදන අපනයනකරු ලෙසද ඉතිහාසයගත වී ඇත. ඊටත් වඩා ප්‍රථම ශ්‍රී ලංකා බැංකු හිමියා වන්නේද චාර්ස් හැන්රි ද සොයිසාය.
තම තනි ප්‍රාග්ධනයෙන් 1860 දී මහනුවර බැංකුව ඉදිකරන ලද්දේ ඔහු විසිනි. කෙසේ නමුත් මේ මහා දානපතියාගේ ධනය රැස්කොට ඇති භාණ්ඩාගරයේ යතුර කිසිවකු විසින් පැහැර ගෙන යෑම නිසා දැන් එම යතුර නැවත එතුමා වෙතම ලැබේවායි මෙරට කළගුණදත් ජනතාවගේ එකම බලාපොරොත්තුව වී ඇත.
සටහන : වජිර ලියනගේ
ඡායාරූප : ඇලෙක්සැන්ඩර් බාලසූරිය