විදුලොවේ නව ප්‍රවණතා
හිටපු ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් වසර කිහිපයකට පෙර සිටම ලෝක සාමය කඩ කරන්නට උත්සාහ ගන්නේ යැයි කියමින් රුසියාවට චෝදනා කළේය. ගුවනේ දී, මුහුදේ දී, අභ්‍යවකාශයේ දී හා සයිබර් අවකාශයේ දී අභියෝගාත්මක ක්‍රියාකාරකම්වල නිරත වන බවත් ඔහු පැවසීය. අංක එකේ ලෝක බලවතා වීම සඳහා ඇමරිකාව හා රුසියාව අතර පවතින නිරන්තර තරගය ජය ගැනීම උදෙසා දෙරටම හොර රහසේ කටයුතු කරමින් සිටින බව ප්‍රකට කරුණකි. ඒ දෙදෙනා දෙදෙනාගේ බලය එකිනෙකාට පෙන්වා ගැනීම සඳහා නොයෙකුත් ක්‍රම යොදා ගනිති. මේ වන විට රුසියාව සිය යුද උපක්‍රම වෙනස් කරමින් නවීකරණය වෙමින් හා අසම්මත ක්‍රම යොදාගෙන මෙහෙයුම් සිදුකිරීම ඇමරිකාවේ දැඩි විවේචනයට ලක්ව ඇත.
“ඇමරිකාවට රුසියාව සමග සීතල තියා උණුසුම් යුද්ධයක්වත් කිරීම අවශ්‍ය නැහැ. ඔවුන් සතුරන් බවට පත් කරගන්නත් අපට වුවමනාවක් නැහැ. නමුත් මතක තබා ගත යුතුයි අප අපේ අවශ්‍යතා, අන්තර්ජාතික සාමය හා සුබදායී අනාගතයක් වෙනුවෙන් ගත යුතු පියවර ගන්නවා.” ඔහු පැවසීය. ඔහු එසේ පැවසුව ද ඇමරිකාව ද සිය සබ්මැරීන, බෝම්බ හෙළන ගුවන් යානා, දිගුදුර මිසයිල හා න්‍යෂ්ටික අවි ආදිය නවීකරණය කළේය.
ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ නායකත්වය යටතේ රුසියාව අංශ රැසකින්ම ඇමරිකාවට අභියෝගයක් බවට පත්වෙමින් සිටින බව නොරහසකි. රුසියාව ද මිනිසුන් රහිත මෙහෙයුම් පද්ධති, දිගුදුර විහිදුම් බෝම්බ ප්‍රහාරක හා ඉලෙක්ට්‍රොමැග්නටික් රේල්ගන්, ලේසර්, අභ්‍යවකාශ ප්‍රහාර මෙන්ම සයිබර් ප්‍රහාර ආදියෙන් සන්නද්ධ වී සිටී.
අභිනවයෙන් දියුණු කරන ලද විද්‍යුත් ප්‍රහාරක උපකරණ රුසියාව සතු බව තවදුරටත් රහසක් නොවේ. ඔවුන් සිය නවීන උපකරණ අත්හදාබැලීම සඳහා මෙතෙක් යොදා නොගත් ක්‍රම ජෝර්ජියානු හා යුක්රේන අර්බුදවල දී යොදාගෙන ඇත. රුසියානු නව පරම්පරාවේ යුද උපක්‍රම නැතහොත් හයිබ්‍රිඩ් යුද උපක්‍රම ද මෙම අත්හදාබැලීම්වලට ඇතුළත් බව පැවසේ. මෙය සම්මත හා අසම්මත යුද උපක්‍රමවල මිශ්‍රණයකි. ඒවායෙහි දී අපේක්ෂා කරන්නේ සටනක දී ජය ලැබීම නොව, පාලනය වෙනස් කිරීමයි. ඒ සඳහා යොදාගන්නේ රටේ පොදු ජනතාවයි. කිසියම් අරගලයකට පොදු ජනයා මැදිහත් වූ පසු ලෝකයා ඉදිරියේ හමුදා ක්‍රියාකාරකම් දෙස සාධාරණ ඇසක් යොමු වෙයි. යුක්රේනයේ සහ සිරියාවේ දී රුසියාව භාවිත කරන්නේ මෙම හයිබ්‍රිඩ් යුද උපක්‍රමයි.
හයිබ්‍රිඩ් යුද ක්‍රමයේ දී රුසියානු අනුබලය ලබන රජයේ හමුදා යටතට ගැනෙන දේශීයව සංවිධානය වූ ඒකක ක්‍රියාත්මක වේ. ඔවුනට ඔවුන්ගේම න්‍යායයන් ඇති අතර රුසියානු හමුදාව අනුකරණය කරමින් මෙහෙයුම්වල යෙදෙති. ඔවුන් සතුව තිබෙන්නේ රුසියානු හමුදා විසින් භාවිත කරන ප්‍රාථමික අවි ආයුධයි.
කිසිදු හඳුනා ගැනීමේ සලකුණක් නැති විවෘත යුද මෙහෙයුම්, වාණිජ උපක්‍රම, විදුලි බලාගාරවල ක්‍රියාකාරිත්වය නැවැත්වීම්, බැංකු හා මූල්‍ය ආයතනවල වැඩ කටයුතු අඩාළ කිරීම සඳහා සයිබර් වෛරස් යොදාගැනීම් ආදිය සයිබර් යුද උපක්‍රම වශයෙන් හැඳින්වේ. එම උපක්‍රම භාවිත කිරීමේ මූලික අරමුණ වන්නේ අදාළ රටේ මහජනයා බියගන්වා නොසන්සුන් හා කලබලකාරී වාතාවරණයක් රටේ ඇති කිරීමයි. ප්‍රධාන ආර්ථික කටයුතු අඩාළ වන විට, රටේ හදිසි හා අනතුරුදායක තත්ත්වයක් ඇති වී තිබෙන විට ආණ්ඩුව කිසිවක් කරකියා ගත නොහැකිව දුර්වල වී සිටින බව රටේ ජනතාවට ඒත්තු ගැන්වීම ද ඔවුන්ගේ අරමුණු අතර වේ.
වෙබ් අඩවි මූලික වූ එදිනෙදා හමුදා ක්‍රියාකාරකම් හා පරිගණකගත පරිපාලන කටයුතු අඩාළ කරන්නට ඔවුන්ගේ සයිබර් උපක්‍රම සමත්ය. අපරාධකාරී හැකර්වරුන්ගේ කල්ලි සමග ද සම්බන්ධතා පවත්වන රුසියානු රජය, වෘත්තීය හැකර්වරු දහස් ගණනාවක් ද සේවයේ යොදවා ඇත. සන්නිවේදනය අඩපණ කිරීම හා අවුල් කිරීම රුසියානු සයිබර් ආක්‍රමණ නිසා එක්සත් ජනපදයට එල්ල වී ඇති දරුණු තර්ජනයකි.
2018 මැයි මස යුක්රේනයේ පාසල්වල සිසුන්ට හඳුනා නොගත් රසායනික ද්‍රව්‍යයක් විදීම නිසා එරට පාසල්වල මහත් නොසන්සුන්තාවක් ඇති විය. සිසුන් 13 දෙනෙක් රෝහල්ගත කරනු ලැබිණි. මේ තත්ත්වය පිළිබඳ එරට පොලිසිය කියන්නේ පංති පැවැත්වීම නවත්වා අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සඳහා සිසුන් කළ කටයුත්තක් බවය. එහෙත් සමාජ මාධ්‍ය අඩවි අධ්‍යයනය කළ පසුව, එය යුක්රේනයේ තැනින් තැන පිහිටි පාසල්වල නව යොවුන් වියේ පසු වූ සිසුන් සංවිධානය වී කරන ලද්දක් බව හෙළි විය. මේ සිද්ධියට රුසියානු නියෝජිතයන්ගේ සම්බන්ධයක් ඇත්ද නැත්ද යන්න තවමත් හෙළි වී නැති අතර අසීරු අවස්ථාවන්ට මුහුණ දෙන්නට හෝ ඒවා විසඳන්නට රජයට හැකියාවක් නැති බව මහජනයාට ඒත්තු ගන්වා රජය පිළිබඳ විශ්වාසය බිඳීමට මෙවැනි සිද්ධි උපයෝගී කරගන්නා බව පැවසේ.
අවශ්‍ය මතවාද පැතිරවීම සඳහා යුක්රේන මාධ්‍යයට බලපෑම් කිරීමට ද රුසියාව පසු නොබසී. එරට පුවත්පත්, සඟරා සහ විද්‍යුත් මාධ්‍යවල හිමිකාරිත්වයෙන් සියයට 90ක්ම අයත් වන්නේ ධනවත් සුළුතරයකට බැවින් ඔවුන් ඔස්සේ මාධ්‍ය භාවිත කිරීම රුසියාවට පහසු වී ඇත. මේ හැරුණු විට රටේ සිටින උගත්, පිළිගත් මිනිසුන් ඔස්සේ සමාජයේ මතවාද වැපිරීමත් රුසියාවේ හයිබ්‍රිඩ් යුද උපක්‍රමයකි.
ඒ හැරුණු විට අල්ලස් දීම හා බිය ගැන්වීම ආදී ක්‍රම භාවිතයෙන් බලවත් පුද්ගලයන් නම්මා ගැනීම ද ඔවුන්ගේ පිළිවෙතකි. යුක්රේනය සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපොහොසත් බව ජර්මනිය හා ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලට පෙන්වීම ද ඔවුන්ගේ අරමුණකි. දූෂිත ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ කළු සල්ලි යොදාගෙන බලශක්තිය වැනි එරට වැදගත් ක්ෂේත්‍ර පාලනය කිරීම ද එම මෙහෙයුම්වලම කොටසකි. මේ සියල්ලෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ යුක්රේනයේ බලය සියතට ගැනීමයි.
ඉරාකයේ දී හා ඇෆ්ගනිස්ථානයේ දී ඇමරිකාව උගත් පාඩම් ගැන ද අවධානයෙන් සිටි රුසියාව, ඇමරිකානු යුද බලයට නොදෙවෙනි වීම සඳහා ඔවුන්ගේ යුද උපක්‍රම, උපකරණ හා මෙහෙයුම් ආදිය නවීකරණයෙන් නොනැවතී යුද අධ්‍යාපනයේ පවා වෘත්තීමය බව වැඩි දියුණු කර ඇත. එම වෙනස්කම් හා හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීමත් යනාදී සියල්ලෙහි අරමුණ රුසියාවේ බලය යුරෝපයට, මැද පෙරදිග කලාපයට හා ආසියාවට ප්‍රදර්ශනය කිරීමයි.
හමුදාව සඳහා වැඩිම ප්‍රතිපාදන වෙන් කර තිබෙන රටවල් අතර රුසියාව ඉදිරියෙන් සිටී. ඔවුන් සන්නද්ධ රථවලට භටයින් යොදනු වෙනුවට ඒවා ස්වයංක්‍රීයකරණය කෙරෙහි යොමුවෙන්නේ භටයන් නඩත්තු කිරීමට යන වියදම ආයුධ හා තාක්ෂණය සඳහා යොදාගැනීමට හැකි බැවිනි. වසර ගණනාවක් පුහුණු කිරීම වෙනුවට කොන්ත්‍රාත් පදනම මත, බොහෝ විට වසරක කාලයක් සඳහා ස්වේච්ඡා භටයින් බඳවා ගනු ලැබේ. මාස හතරක මූලික පුහුණුවකින් පසුව රුසියානු සෙබළුන්ට තවත් මාස අටක කාලයක් පමණක් සේවය කළ හැකි අතර ඔවුන්ගේ හමුදා ගනුදෙනු වසරක් ඇතුළත නිමා වේ. එනිසා කුමන්ත්‍රණ, රහස් වැඩ ආදියේ නිරත වන්නට ඔවුනට අවකාශ නොලැබේ.
බලය බෙදී යන ව්‍යුහයේ ඇති අඩුපාඩු හඳුනාගන්නා රුසියානු හමුදාව ඒවා වහ වහා නිවැරදි කරන්නේ සංශෝධන ද සහිතවය. එම ආකෘති වෙනස් කිරීමට ඔවුන් පැකිලෙන්නේ ද නැත. රුසියන් හමුදාවේ ගුවන් ආරක්ෂක පද්ධති ඉතා සංකීර්ණ වන අතර එකිනෙක විච්ඡේදනය වන ස්ථර වශයෙන් සංවිධානය කර ඇත. ඒ අනුව එක් පද්ධතියකින් තවත් පද්ධතියකට හා එයින් තවත් පද්ධතියක් වශයෙන් ආරක්ෂාව සැලසෙන පරිදි පද්ධති එකිනෙක සම්බන්ධ කර තිබේ. ආවරණ කලාපවල පවතින හිඩැස්වලට මිසයිල ප්‍රහාර එල්ල කළහොත් එම මිසයිල නොමග යැවීමට ද ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධතියට පුළුවන.
රුසියාව ජිනීවා සම්මුතියට ප්‍රසිද්ධියේ සිය එකඟතාව පළ කළත්, ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික සංකේත හඳුනාගත්තත්, ස්වයංක්‍රීය කර ඇති ගුවන් ආරක්ෂක පද්ධති තර්ජනයක් නොවන ඉලක්කවලට පහර දීමේ ප්‍රවනතාවක් ද ඇත. 2014 ජූලියේ යුක්රේන ගුවන් කලාපයේ දී මැලේසියානු එම්.එච්. 17 ගුවන් යානයට පහර දෙන ලද්දේ BUK මිසයිල පද්ධතියයි.
ඉලෙක්ට්‍රොනික් යුද මෙහෙයුම් පද්ධති සඳහා රුසියාව දැවැන්ත ආයෝජන සිදු කර ඇත. ඒවායින් පුළුල් පරාසයක සන්නිවේදන කටයුතු අඩපණ කිරීමට පුළුවන. ස්ථර වශයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති මෙම පද්ධති මගින් එෆ්.එම්, සැට්කොම්, සෙලියුලර්, ජීපීඑස් හා අනෙකුත් සංඥා අවහිර කිරීමට පුළුවන. සංඥා අවුල් කරන පද්ධති නිසා නැගෙනහිර යුක්රේනයේ ගුවන් සංඥා අඩපණ වීම, නියමුවන් රහිත ගුවන්යානා පද්ධති අඩාළ වීම පසුගිය වකවානුවේ සැබෑවටම සිදුවිය. පවතින සංඥා අවුල් කිරීම හැරුණු විට මෙම පද්ධති ඔස්සේ ව්‍යාජ සංඥා යැවීමට පුළුවන. ජී.පී.එස්. නැවිගේට් පද්ධතිවල හා සන්නිවේදන පද්ධතිවල ආධාරය ලබාගෙන සිදුකරන මෙහෙයුම්වල දී ඉතා කෙටි වේලාවකට වුවද සංඥා ඇනහිටීම හේතුවෙන් ඇතිවෙන්නේ පියවිය නොහැකි තරමේ පාඩුවකි.
මෙම පද්ධතිවලට විද්‍යුත් චුම්භක තරංගවල දිශාව සොයා ගැනීමට ද පුළුවන. වෙඩි තැබීම් නිරීක්ෂණය කරන උපකරණයකට සම්බන්ධ කළ විට සතුරු හමුදාවක් විසින් මිසයිල ප්‍රහාර එල්ල කිරීම නිවැරදිවම හඳුනාගැනීමට ද පුළුවන. ඇමරිකානු තාක්ෂණය පසුකර යමින් එසේ තාක්ෂණික සමත්කම් ඇති කර ගැනීමට රුසියාවට බොහෝ වෙහෙස වන්නට සිදු විය.
මීට අමතරව යුද මෙහෙයුම් සඳහා ඩ්‍රෝන යානා ද උපයෝගී කර ගැනේ. යුක්රේන සෙබලුන්ට බෝම්බ හෙළීමට ඩ්‍රෝන යානා යොදා ගෙන තිබුණු අතර එක් ප්‍රහාරයකින් අනතුරුව තවත් ප්‍රහාරයක් වශයෙන් ප්‍රහාර රැල්ලක් දියත් කරමින් සැඟවී සිටින සෙබළු විනාශ කිරීමට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කෙරේ. මෙය රුසියානු හමුදාව යොදාගන්නා මිල අධික නොවන, පහසුවෙන් හසුනොවෙන හා පහසුවෙන් සතුරා අඩපණ කරමින් වැදගත් සතුරු ඉලක්ක විනාශ කරන උපක්‍රමයකි.
ලෝක බලවතා බවට පත්වීම සඳහා දැනට සිටින ඉදිරි පෙළ බලවතුන් දෙපළ වන ඇමරිකාව හා රුසියාව තරග වදින්නේ දිනෙන් දින ඔවුන්ගේ උපක්‍රම නවීකරණය කරමිනි. නවීන අධි තාක්ෂණික මෙවලම් භාවිතය ද දෙපක්ෂයේම දැකිය හැකි ලක්ෂණයකි. හමුදාවකට කළ හැකි අනතුරුදායක කටයුතු බොහොමයක් රුසියානු හමුදා මේ වන විටත් සිදු කර ඇත. ඔවුන් ජෛව අවි භාවිත කරන බව තවමත් වාර්තා වී නැතත්, ඉදිරියේ දී එවැනි අසම්මත හා දරුණු උපක්‍රම පවා යොදා නොගනු ඇතැයි සිතන්නට නොහැකිය.
අන්තර්ජාලය ඇසුරිනි.
සටහන - නිසංසලා දිසානායක